රට ආර්ථික, සමාජීය හා සංස්කෘතික වශයෙන් සුරක්ෂිත වීමට නම් ගුණාත්මක මානව සම්පතක් නිර්මාණය විය යුතු බවත්, ඒ සඳහා අවශ්‍ය ප්‍රධානතම සාධකය අධ්‍යාපනය බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පවසනවා.

රජය අධ්‍යාපන ක්ෂේත්‍රයේ පරිවර්තනීය වෙනසක් සිදු කිරීම සඳහා විශාල කැපවීමකින් සහ උත්සාහයකින් කටයුතු කරමින් සිටින බවත්, එම ගමනේදී කුමන බාධා එල්ල වුවද නිසි ඉලක්කයක් සහ අරමුණක් ඇති බැවින් ඒ සියල්ල ජය ගනිමින් ඉදිරියටම යන බවයි අග්‍රාමාත්‍යවරිය අවධාරණය කළේ.

2023/2024 අධ්‍යයන වර්ෂය සඳහා රජයේ විශ්වවිද්‍යාලවලට තේරී පත්වූ අධ්‍යාපන සමුපකාර සමිතියේ සාමාජිකයින්ගේ දූ පුතුන් වෙනුවෙන් අද (31) දින අරලියගහ මන්දිරයේදී පැවැත්වූ ”‍ෑෘක්‍ී සිසු නැණ ප්‍රණාම”‍ ශිෂ්‍යාධාර ප්‍රදානෝත්සවය අමතමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය මෙම අදහස් පළ කළා.

​මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරිය සඳහන් කළේ, සීමාසහිත අධ්‍යාපන සේවා නියුක්තිකයින්ගේ සමුපකාර සකසුරුවම් සමිතිය මගින් සංවිධානය කරන මෙම වැඩසටහන හුදු ශිෂ්‍යාධාර පිරිනැමීමක් පමණක් නොව, රටේ අනාගතය භාර ගැනීමට සිටින සිසුන්ගේ සහ ඔවුන්ගේ දෙමාපියන්ගේ කැපවීම ඇගයීමට ලක් කරන උතුම් අවස්ථාවක් බවයි.

1930 වසරේදී සාමාජිකයන් 58 දෙනෙකුගෙන් සහ රුපියලක සාමාජික ගාස්තුවකින් ආරම්භ වූ මෙම සමිතිය, අද වන විට සාමාජිකයන් දෙලක්ෂ පහළොස් දහසක් පමණ සිටින දකුණු ආසියාවේ විශාලතම සමුපකාරයක් බවට පත්ව තිබීම සුවිශේෂී ජයග්‍රහණයක් බවද ඇය පැවසුවා.

​ලෝකය සීඝ්‍රයෙන් වෙනස් වන අයුරුත්, ආර්ථික හා පරිසර අර්බුද හමුවේ මානව සම්පත සංවර්ධනය කිරීමේ අවශ්‍යතාවත් අග්‍රාමාත්‍යවරිය මෙහිදී පෙන්වා දුන්නා.

පාසල් අධ්‍යාපනයේ සිටම අද ලෝකයට ගැළපෙන අයුරින් අධ්‍යාපන පද්ධතිය පරිවර්තනය කළ යුතු බවත්, විශ්වවිද්‍යාලවලට පිවිසෙන සිසුන් මෙම වෙනසේ නියමුවන් හා කොටස්කරුවන් විය යුතු බවත් ඇය ප්‍රකාශ කළා.

වසරකට ප්‍රාථමික අධ්‍යාපනයට එක්වන ලක්ෂ තුනකට ආසන්න පිරිසෙන් විශ්වවිද්‍යාල වරම් ලබන්නේ 40,000ක් වැනි පිරිසක් බැවින්, එම සුවිශේෂී අවස්ථාව රටේ දියුණුව වෙනුවෙන් භාවිත කරන ලෙස අග්‍රාමාත්‍යවරිය මෙහිදී සිසුන්ගෙන් ඉල්ලා සිටියා.

​මෙම අවස්ථාවට එක් වූ ලංකා ගුරුසේවා සංගමයේ ප්‍රධාන ලේකම්, කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා අදහස් දක්වමින් කියා සිටියේ, දූෂණයෙන් තොරව කටයුතු කිරීම හේතුවෙන් මීට පෙර රුපියල් මිලියන 1200ක්ව තිබූ සමිතියේ මූල්‍ය ස්ථාවරත්වය මාස නවයක් වැනි කෙටි කාලයක් තුළ රුපියල් මිලියන 1700 දක්වා වර්ධනය කිරීමට හැකි වූ බවයි.

​මෙවර වැඩසටහන යටතේ රජයේ විශ්වවිද්‍යාලවලට තේරී පත්වූ දරුවන් 2292ක් වෙනුවෙන් රුපියල් මිලියන 13.7කට අධික මුදලක් ශිෂ්‍යාධාර ලෙස පිරිනැමුණා.

1984 වසරේදී සිසුන් 15 දෙනෙකුගෙන් සහ රුපියල් 3500ක මුදලකින් ආරම්භ කළ මෙම වැඩසටහන වසර 41ක් පුරා අඛණ්ඩව පවත්වාගෙන එමින්, වර්තමානය වන විට එක් සිසුවෙකුට රුපියල් 75,000ක උපරිමයක් දක්වා ශිෂ්‍යාධාර පිරිනැමීම ගුරු පරපුරේ සාමූහික ශක්තිය විදහා දක්වන්නක්.

​මෙහිදී අග්‍රාමාත්‍යවරිය විසින් සංකේතාත්මකව සිසුන් සඳහා ශිෂ්‍යාධාර ප්‍රදානය කිරීම සිදු වූ බවයි අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය සදහන් කළේ.

මෙම අවස්ථාවට අධ්‍යාපන සමුපකාර සමිතියේ සභාපති ලාල් කුමාර මහතා, බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ දර්ශනී ඉද්දමල්ගොඩ මහත්මිය ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගී වුණා.

.