රණවිරු සේවා හා පුනරුත්ථාපන අධ්‍යක්ෂ මණ්ඩලය මගින් හඳුනාගෙන ඇති, රණවිරුවන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් මුහුණ දෙන ඉඩම් සම්බන්ධ ගැටළු සාකච්ඡා කිරීම සහ ඒවාට කඩිනම් විසඳුම් ලබාදීම සඳහා විශේෂ සාකච්ඡාවක් සිදුකර තිබෙනවා.

ඒ, ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර මහතාගේ ප්‍රධානත්වයෙන්.

නීත්‍යානුකූලව රණවිරුවන් වෙත ලබා දී තිබෙන ඉඩම් සම්බන්ධයෙන් අයිතිය තහවුරු කරගැනීම සඳහා වන හිමිකම් ඔප්පු සම්බන්ධ ගැටළු, වෙනත් පාර්ශවයන් විසින් සිදුකරන අනවසර වගා කටයුතු හා බලහත්කාරයෙන් ඉඩම් අත්පත් කරගෙන සිටීම ආදී ගැටළු පිළිබඳව මෙහිදී කරුණු සාකච්ඡා කල බවයි ආරක්ෂක අමාත්‍යංශය පැවසුවේ.

ආරක්ෂක අමාත්‍යංශයේ මැදිහත්වීමෙන් ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් ඉඩම් කොටස් ලබාදීමේ වැඩපිළිවෙලක් මේ වනවිට ක්‍රියාත්මක කර තිබෙනවා.

ඒ අනුව, හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් මීගොඩවත්ත සහ පැලැඳගොඩ, මතුගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් යටදොළවත්ත සහ මොණරාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් මදුරුකැටියවත්ත යන ප්‍රදේශවල ඉඩම් ලබාදීම මේ යටතේ සිදු කිරීමටයි පියවර ගෙන ඇත්තේ.