රක්‍ෂිත බන්ධනාගාර ගත කෙරුණු හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා මැගසින් බන්ධනාගාරයේ රදවා තිබෙනවා.

විශේෂ ආරක්‍ෂාවක් යටතේ ඔහු ඊයේ පස්වරුවේ සිට එම බන්ධනාගාරයේ රැදවූ බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ලන්ඩන් සංචාරයට අදාළ නඩුව ඊයේ විභාගයට ගැණුනු අවස්ථාවේදී එහි සැකකරුවෙකු ලෙස නම් කර සිටි හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා අධිකරණය හමුවේ පෙනී සිටිමෙන් අනතුරුව ලබන 11 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත්වරයා එහිදී නියෝග කළා.

මේ අතර පසුගියදා රක්‍ෂිත බන්ධනාගාර ගත කෙරුණු හිටපු අමාත්‍යාංශ ලේකම්වරයෙකු වූ අනූෂ පැල්පිට මහතාද කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ රදවා සිටිනවා.

ඔහු එම බන්ධනාගාරයේ එන් වාට්ටුවේ රැදවා සිටින බවයි බන්ධනාගාර ආරංචි පැවසුවේ.

විවිධ චෝදනා යටතේ රක්‍ෂිත බන්ධනාගාර ගත කෙරුණු රජයේ නිලධාරීන් 15 දෙනෙකු පමණ එම වට්ටුවේ රදවා සිටින බවයි බන්ධනාගාර ආරංචි පැවසුවේ.

ඒ අතරට පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකු සහ නීතිඥවරයෙකුද අයත් වනවා.