දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ අතිරේක සාමාන්‍යාධිකාරී දර්ෂණ මැදවත්ත සහ තවත් සැකකරුවන් දෙදෙනෙකු ඇප මත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නියම කළා.

මෙම නඩුකරය අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදී අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් මෙතෙක් සිදු කළ විමර්ශන වල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කළා.

එය සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා අල්ලස් කොමිසමේ නිලධාරීන් වෙත ප්‍රශ්නයක් යොමු කරමින් මෙම සැකකරුවන් ඇප මත මුදා හැරීම සම්බන්ධයෙන් විරෝධතාවක් තිබේ දැයි ප්‍රශ්න කළා.

ඊට ප්‍රතිචාර දක්වමින් විමර්ශන නිළධාරීන් කියා සිටියේ සැකකරුවන්ට ඇප මත මුදා හැරීම සම්බන්ධව විරෝධයක් නොමැති බවයි.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා එක් එක් සැකකරු රුපියල් ලක්ෂ 50 බැඟින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කළා.

ඊට අමතරව ඔවුන්ගේ විදේශ ගමන් තහනම් කිරීමට ද මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.

ඉන් අනතුරුව අදාළ පැමිණිල්ල මැයි මස 29 වනදා කැඳවීමටද අධිකරණය නියම කළා.

ජාතික ජල සම්පාදන මණ්ඩලයේ සභාපතිවරයාට නිල වාහන දෙකක් තිබියදී toyota prado වර්ගයේ මෝටර් රථයක් කුලී පදනම මත ලබාගැනීම තුළින් සභාපතිවරයාට වාසි සැලසෙන ආකාරයෙන් කටයුතු කිරීම හරහා රජයට රුපියල් 12750000/- ක් පාඩුවක් සිදු කර දූෂණය නැමැති වරද සිදුකිරීමට කුමන්ත්‍රණය කළේ යැයි මෙම සැකකරුවන් තුන්දෙනා අල්ලස් කොමිසම විසින් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.