දඹුල්ල - හබරණ ප්‍රධාන මාර්ගයේ පැල්වෙහෙර ප්‍රදේශයේදී සිදුවූ දරුණු රිය අනතුරකින් දඹුල්ල ජාතික පාසලේ විදුහල්පතිවරයා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ජානක විජේසිංහ නැමැති ඔහු 38 හැවිරිදි දෙදරු පියෙක්.

​ත්‍රිකුණාමලයේ සිට කොළඹ බලා ධාවනය වූ අධි සුඛෝපබෝගී බස් රථයක් වේගය පාලනය කරගත නොහැකිව ප්‍රතිවිරුද්ධ දෙසට ධාවනය වී, විදුහල්පතිවරයා ගමන් කළ මෝටර් රථයේ මුහුණට මුහුණ ගැටී තිබෙනවා.

​පසුව එම බස් රථය සංචාරක හෝටලයක් ඉදිරිපිට නවතා තිබූ සුඛෝපබෝගී මෝටර් රථයක ද ගැටී අසල අවන්හලකට කඩාවැදී ඇති අතර, අනතුරින් බස් රථයේ ගමන් කළ දෙදෙනෙකු ද තුවාල ලබා තිබෙනවා.

​අනතුරෙන් පසු විනාඩි 45 කට අධික කාලයක් මෝටර් රථයේ සිරවී සිටි විදුහල්පතිවරයාව ප්‍රදේශවාසීන් විසින් දැඩි උත්සාහයකින් පසු පිටතට ගෙන දඹුල්ල මූලික රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් සිටි බවයි දඹුල්ල මූලස්ථාන පොලිස් පරීක්ෂක සුගත් විජේසිංහ මහතා සඳහන් කළේ.

​අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර, දඹුල්ල පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වනවා.