ලංකා සතොස ලිමිටඩ් ආයතනයේ හිටපු නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරයෙකු සහ ව්‍යාපාරිකයින් දෙදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, ලද තොරතුරක් මත සිදුකරගෙන යනු ලබන විමර්ශනයකට අදාළවයි.

අමාත්‍ය මණ්ඩල අනුමැතිය සහ ලංකා සතොස ලිමිටඩ් ආයතනයේ පවත්නා නීතිරීතිවලට පටහැනිව එම ආයතනයට පාඩුවක් වන බවට දැනුම හා චේතනාව ඇතිව පුද්ගලික ව්‍යාපාරිකයෙකුට වාසියක් සැලසීමේ අරමුණින් සුදුළුෑනු කිලෝ 54,860 ක් අළෙවි කිරීමේ සිද්ධියකට අදාළව එම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එමගින් ලංකා සතොස ආයතනය වෙත රුපියල් එක් කෝටි හැත්තෑ ලක්‍ෂයකට ආසන්න පාඩුවක් සිදුකිරීම, ආධාර අනුබලදීම හා කුමන්ත්‍රණය යන චෝදනා යටතේ එම සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි අල්ලස් කොමිසම වැඩිදුරටත් සදහන් කළේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදාහැර තිබෙනවා.