දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ කූඩුවක රඳවා සිටි නිල් කහ මැකෝ ගිරවෙකු කිසියම් පුද්ගලයෙකු විසින් සොරාගෙන ගොස් තිබෙනවා.

එම නිල් කහ මැකෝ ගිරවාගේ වටිනාකම රුපියල් ලක්ෂ 5කට අධික බවයි වාර්තා වන්නේ.

පසුගිය 04 වනදා රාත්‍රියේ අදාළ සොරකම සිදුව ඇති අතර එය සත්වෝද්‍යානය අසල වෙළෙඳසැලක සවිකර ඇති ආරක්ෂිත කැමරාවකද සටහන් වී තිබෙනවා.

එම ගිරවා රඳවා සිටි කූඩුව තුළ නිල් කහ මැකෝ ගිරවුන් 30ක් රඳවා සිට ඇති අතර ඉන් එක් ගිරවෙකු මෙලෙස සොරගෙන ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

අදාළ කූඩුව භාරකරු පසුදා උදෑසන රාජකාරි සඳහා යතුරු රැගෙන කූඩුව විවෘත කිරීමට යාමේදී එහි ආරක්ෂාවට දමා ඇති ආරක්ෂිත අඟු‍ල කඩා ඇති බව දැක පසුව සත්ත්වෝද්‍යානයේ ඉහළ නිලධාරීන් දැනුවත් කර තිබෙනවා.

පසුව සිදුකළ පරීක්ෂාවේදී එම කූඩුව තුළ සිටි එක් නිල් කහ මැකෝ ගිරවෙකු අස්ථානගත වී ඇති බැවින් සත්වෝද්‍යානයේ පාලනාධිකාරිය විසින් ආරක්ෂක නිලධාරියෙකු මාර්ගයෙන් දෙහිවල පොලීසියේ පැමිණිල්ලක් ගොනු කිරීමටයි කටයුතු කර ඇත්තේ.

පසුගිය 2021 වසරේදීද එම කූඩුවේ රඳවා සිටි නිල් කහ මැකෝ ගිරවෙකු අස්ථානගත වූ ඇති අතර පසුව එම ගිරවා රත්මලාන ප්‍රදේශයේ නිවසක සිටියදී සොයාගැණුනා.