පුද්ගලයින් 241 දෙනෙකුට මරු කැඳවූ අහමදාබාද් ගුවන් අනතුර සම්බන්ධයෙන් ඉන්දීය බලධාරින් පුළුල් විමර්ශන ආරම්භ කර තිබෙනවා.

ඉන්දීය ගුවන් යානා අනතුරු විමර්ශන කාර්යංශයේ ප්‍රධානත්වයෙන් එම විමර්ශන සිදු කෙරෙන බවයි එරට මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

එම විමර්ශනවලට සහාය ලබාදීම සඳහා “බෝයිං” සමාගම ද ඉදිරිපත්ව සිටිනවා.

ඒ අනුව ජාත්‍යන්තර ගුවන් සේවා නීතිරීතිවලට අනුකූලව එම විමර්ශන සිදු කෙරෙන බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

අනතුරට ලක් වූ එයාර් ඉන්දියා 171 ගුවන් යානය බෝයිං සමාගම මගින් නිෂ්පාදනය කරන ලද යානයක්.

එම අනතුර සම්බන්ධයෙන් බෝයිං සමාගමේ සභාපති කෙලී ඕර්ට්බර්ග් ද මියගිය පුද්ගලයින්ගේ පවුල් වෙත සිය ශෝකය පළ කර තිබෙනවා.

ලොව රටවල් රැසක නායකයින් ද අහමදාබාද් ගුවන් අනතුර සම්බන්ධයෙන් ශෝකය පළ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.

මේ අතර එම ගුවන් අනතුරෙන් මිය ගිය පුද්ගලයින් හඳුනා ගැනීමේ ක්‍රියාවලිය සම්පූර්ණ කිරීම සඳහා තවත් කාලයක් ගතවනු ඇති බව අහමදාබාද් රෝහල් බලධාරින් ප්‍රකාශ කර තිබෙනවා.

ඒ, බොහෝ මළසිරුරු හඳුනාගත නොහැකි මට්ටමකට පිලිස්සී තිබීම හේතුවෙන්.

එම පුද්ගලයින් ඩී.එන්.ඒ පරීක්ෂණ මගින් හඳුනා ගැනීමට ද කටයුතු කරමින් ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තාවල සඳහන්.