2026 පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ බොහෝ දෙනා දැඩි අවධානයෙන් බලා සිටි ඉන්දු - පකිස්තාන පස මිතුරන්ගේ තරගය ලකුණු 61කින් ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම ඊයේ රාත්‍රියේ සමත් වුණා.

ඒ, මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට දෙනාගේ වටයට සුදුසුම් ලබා ගනිමින්.

කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවති මෙම තරගයේ කාසියේ වාසිය හිමිකර ගත් පකිස්තාන කණ්ඩායමේ ඇරයුමෙන් පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර විස්ස අවසානයේ කඩුළු 7ක් දැවී ලකුණු 175ක් රැස් කළා.

ඉෂාන් කිෂන් පන්දු 40කදි ලකුණු 77 ක් රැස් කළේ හතරේ පහර 10 ක් සහ හයේ පහර තුනක්ද සමගයි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පකිස්තාන කණ්ඩායමේ සියලුම පිතිකරුවන් පන්දුවාර 18කදී ලකුණු 114 කට දවා ගැනීමට ඉන්දීය පන්දු යවන්නන් සමත් වුණා.

තරගයේ වීරයා ලෙස සම්මාන දිනාගත්තේ ඉෂාන් කිෂන්.

ලොවපුරා දැඩි අවධානයක් දිනාගත් මෙම තරගය නැරඹීම සදහා ඉන්දීය සහ පකිස්තාන ප්‍රේක්‍ෂකයින් විශාල පිරිසක් පැමිණ සිටියා.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාද තරගය නැරඹීම සදහා පැමිණ සිටීම විශේෂත්වයක්.

පකිස්තාන අභ්‍යන්තර කටයුතු සහ මත්ද්‍රව්‍ය පාලන අමාත්‍ය සයිඩ් මෝසින් රාසා, ඉන්දියානු මහකොමසාරිස් සන්තෝෂ් ෂා ද මෙම අවස්ථාවට එක්ව සිටියා.