වට්ස්ඇප් සමූහය මගින් වටිනා තෑගි පාර්සලයක් ලබා දෙන බව පවසා රුපියල් දාහතර ලක්ෂ පනස් පන්දහසක මුදලක් සිය බැංකු ගිණුමක් වෙත බැර කර මුදල් වංචාවක් සිදුකළ කාන්තාවක් කටුනායක ගුවන් තොටුපොල මගී පර්යන්තයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, පරිගණක අපරාධ විමර්ශන අංශයේ වයඹ පළාත් ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින්.

එම විමර්ශන අංශයට ලද පැමිණිල්ලක් මත සිදුකළ විමර්ශනයකින් අනතුරුවයි ඇය අත්අඩංගුවට ගෙන ඇත්තේ.

වයස අවුරුදු 46ක් වන සැකකාරිය නුගේගොඩ ප්‍රදේශයේ පදිංචිකාරිණියක්.

සිද්ධිය සම්බන්ධයෙන් පරිගණක අපරාධ විමර්ශන අංශයේ වයඹ පළාත් ඒකකය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

මේ අතර පුද්ගලික ආයතනයක පරිඝණක දත්ත පද්ධතිය වෙත ව්‍යාජ තොරතුරු ඇතුලත් කර රුපියල් පන් කෝටි අනූහය ලක්ෂ පනස් හයදහස් හාරසිය අනූහයයි ශත අසූහතර මුදලක් ගිණුම්වලට බැරකළ එම ආයතනයේ සේවකයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ මුල්‍ය විමර්ශන අංශයට ලද පැමිණිල්ලකට අනුව සිදුකළ විමර්ශනවලින් අනතුරුවයි.

ඒ අනුව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව කටුනායක ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහු මාලිගාවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි පොලිසිය පැවසුවේ.