රට පුරා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක සභාව අතර හමුවක් සිදුව තිබෙනවා.

ඒ, සේවා ගැටලු සහ වෘත්තීය ක්‍රියාමාර්ගයන්ගේ ඉදිරි තීරණ පිළිබඳ සාකච්ඡා කිරීම සදහායි.

මෙහිදී වෛද්‍යවරුන්ට ප්‍රමාණවත් වැටුපක් සහ යහපත් වෘත්තීය පරිසරයක් නොමැති වීම, රෝගී සත්කාර සේවාවන් සැපයීමට අවශ්‍ය පහසුකම් නොමැති වීම, සේවාවන් සැපයීමට අවශ්‍ය ප්‍රවාහන පහසුකම් නොමැති වීම, සේවා ස්ථානයේ ආරක්ෂාව පිළිබඳ ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබෙනවා.

එමෙන්ම අනෙකුත් සහයක සෞඛ්‍ය කාර්ය මණ්ඩලය ප්‍රමාණවත් නොවීම හා අනුමත වෛද්‍යවරුන්ගේ සංඛ්‍යාව යාවත්කාලීන නොවීම සම්බන්ධයෙන්ද සාකච්ඡා කල බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පැවසුවේ.

මේ සම්බන්ධයෙන් වැඩිදුර කරුණු අධ්‍යයනය කිරීමට විශේෂ ක්‍රියාකාරි කමිටුවක් පත් කර තිබෙනවා. එම කමිටුව විසින් සකස් කරන කමිටුව වාර්තාව අනුව ඉදිරි තීන්දු තීරණ සහ ක්‍රියාමාර්ග ගැනීමට විධායක සභාව විසින් තීරණය කර තිබෙනවා.