රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ආරම්භ කළ වර්ජනය හේතුවෙන් රෝහල් කටයුතුවලට අදත් බලපෑම් එල්ල වී තිබෙනවා.
මෑතකදී සිදු වූ වෛද්‍ය ස්ථානමාරු ක්‍රියාවලිය තුළ පවතින අක්‍රමිකතා සහ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව එම වෛද්‍යවරුන් වැඩවර්ජනයේ නිරත වන්නේ මෙම සතිය තුළ තුන්වන වරටයි.
අදත් පෙරවරු 8 ට වෛද්‍යවරුන් වර්ජනය ආරම්භ කිරීම හේතුවෙන් සායන සහ බාහිර රෝගී අංශයේ සේවාවන් ලබා ගැනීමට රෝගීන් කල්වේලා ඇතිව රෝහල් වෙත පැමිණ තිබුණා.
එහෙත් වර්ජනය පැවති පෙර දින දෙකේ මෙන්ම අද දිනයේදීද එම රෝගීන්ට යළි නිවෙස් කරා යාමට සිදුවුණා.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද පෙරවරු 8 ට වර්ජනය ආරම්භ කළේ එය අවසන් වන වේලාවක් ප්‍රකාශයට පත් නොකරමින්.
එවන් පසුබිමක් තුළ එම සංගමයේ හදිසි විධායක සභාවක් තවත් නොබෝ වේලාවකින් පැවැත්වීමට නියමිතව තිබෙනවා.
එහිදී සිය වර්ජනයට අදාළ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබද තීරණය කරන බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස මහතා පැවසුවේ.




