වලංගු වීසා බලපත්‍ර නොමැතිව මෙරට රැදී සිටි විදේශිකයන් 14 දෙනෙකු වස්කඩුව ප්‍රදේශයේ හෝටලයක සිටියදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, පානදුර වලාන දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින්.

චීන ජාතිකයින් 12 දෙනෙකු හා මැලේසියානු ජාතිකයින් දෙදෙනෙකු එලෙස අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පැවසුවේ.

මේ අතර ත්‍රිකුණාමලය, මුරුගාරිපුරි ප්‍රදේශයේ හෝටලයක් තුළ රැදී සිටි තවත් විදෙස් ජාතිකයන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, ත්‍රිකුණාමලය පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ වැටලීමකදීයි.

එහිදී අත්අඩංගුවට ගෙන ඇත්තේ ඉන්දීය ජාතිකයන් තිදෙනෙක්.

වලංගු වීසා බලපත්‍ර නොතිබීම හේතුවෙන් ඔවුන් එලෙස අත්අඩංගුවට ගත් බවයි පොලීසිය වැඩිදුරටත් පැවසුවේ.