සියයට 12.19කින් ඉහළ නැංවූ බස් ගාස්තුව අද (03/24) සිට ක්‍රියාත්මකයි.

ඒ අනුව රුපියල් 27ක්ව පැවති අවම බස් ගාස්තුව රුපියල් 30ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

රුපියල් 2,159ක්ව පැවති අවසන් ගාස්තුව රුපියල් 2,422ක් දක්වා රු 263කින් ඉහළ යන බවයි ජාතික ගමනාගමන කොමිෂන් සභාව පැවසුවේ.

මගීන්ගෙන් නියමිත බස් ගාස්තුව පමණක් අයකරන ලෙස ශ්‍රී ලංගම සහ පෞද්ගලික බස්රථ ධාවකයින් වෙත දැනුම් දී තිබෙනවා.

නියමිත ගාස්තුවට වඩා වැඩියෙන් බස් ගාස්තු අයකරන බස්රථ සම්බන්ධයෙන් නීත්‍යානුකූල ක්‍රියාමාර්ග ගන්නා බවයි ජාතික ගමනාගමන කොමිෂන් සභාව පැවසුවේ.

නියමිත බස් ගාස්තුවට වඩා වැඩියෙන් බස් ගාස්තු අයකළහොත් ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ 19 55 ක්ෂණික දුරකථන අංකයට හෝ 071 25 95 555 යන වට්ස්ඇප් අංකයට පැමිණිලි ඉදිරිපත් කරන ලෙස ද ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

මේ අතර පෞද්ගලික් බස් ධාවනය අද දිනයේ යථාතත්ත්වයට පත් කරන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසනවා.

ඔහු කියා සිටියේ බස් ගාස්තු ඉහළ නංවා ඇත්තේ ඩීසල් වියදමට සාපේක්ෂව පමණක් බවයි.

බස් කර්මාන්තයට අදාළ අමුද්‍රව්‍ය මිල ද මේ වන විට ඉහළ ගොස් ඇති බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසනවා.