සූර්ය බලශක්තියෙන් ලබා ගන්නා විදුලිබලය ගබඩා කිරීම සදහා බැටරි ගබඩාකරණ පද්ධතියක් ස්ථාපනය කිරීමට ආණ්ඩුව සූදානම් බව බලශක්ති අමාත්‍යංශය පවසනවා.
එම අමාත්‍යංශය කියා සිටියේ මෙමගින් සූර්ය බලශක්තිය මෙරට විදුලි බල පද්ධතියට උපරිම අයුරින් ලබාගැනීම සම්බන්ධයෙන් තිබූ ප්‍රධානතම බාධාවක් මග හැරී යන බවයි.
ඒ අනුව එම විදුලිබලය ගබඩා කිරීම සදහා බැටරි ගබඩාකරණ පද්ධතියක් ස්ථාපනය කිරීමට අදාළව ඉදිරිපත් කල අමාත්‍ය මණ්ඩල සංදේශය සලකා බලා ටෙන්ඩර් ප්රදානය කිරීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබාදී ඇති බවයි බලශක්ති අමාත්‍යංශය පැවසුවේ.
මෙහිදී රටපුරා විදුලි උපපොළවල් 16ක් ආශ්‍රිතව මෙගාවොට් 10, මෙගාවොට් පැය 40 බැගින් වන ස්වාධීන බැටරි බලශක්ති ගබඩා කරන පද්ධති ස්ථාපනය කරනු ඇති.
ඒ සදහා රජය විසින් දියත් කළ වැඩපිළිවෙලට අනුව පසුගිය වසරේ ටෙන්ඩර් පත් කැදවනු ලැබුවා.
එහිදී ග්‍රිඩ් උපපොළවල් 16ක් සදහා ටෙන්ඩර් 153ක් වැනි විශාල ප්‍රමාණයක් ලැබී තිබු බවයි බලශක්ති අමාත්‍යංශය පැවසුවේ.
ඒ අනුව එක් එක් ග්‍රිඩ් උපපොළකට අදාළ වන පරිදි තාක්ෂණික හා අනෙකුත් පිරිවිතරයන් සලකා බලා ස්වාධීන ටෙන්ඩර් කමිටු විසින් ඉදිරිපත් කළ නිර්දේශ වලට අනුව මෙම කැබිනට් අනුමැතිය ලබාදී තිබෙනවා.




