ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්. තුරෙයි රාජා මහතා විශ්‍රාම ගැනීම නිමිත්තෙන් ඒ මහතාට සුබ පැතීමේ චාරිත්‍රානුකූල නිල උත්සවය අද උපරිමාධිකරණ සංකීර්ණයේ දී පැවැත් වූණා.
අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය පැවැති අතර ඊට ශ්‍රේෂ්ඨාධිකරණ, අභියාචනාධිකරණ, මහාධිකරණ, දිසා අධිකරණ සහ මහේස්ත්‍රාත් අධිකරණ වල විනිසුරු වරු සහභාගී වූණා.
ඊට අමතරව ජනාධිපති නීතිඥවරු ඇතුළු නීතිඥවරු විශාල පිරිසක් ද සහභාගී වුණා.
එහිදී නීතිපති පාරින්ද රණසිංහ මහතා සිය කතාව කරමින් සදහන් කළේ 1989 වසරේ රජයේ නීතිඥවරයෙකු ලෙස නීතිපති දෙපාර්තමේන්තුවට එක්වූ තුරෙයි රාජා මහතා එහි අතිරේක සොලිසිටර් ජෙනරාල් ධුරයට දක්වා උසස් වීම් ලබා 2016 වසරේ අභියාචනාධිකරණ විනිසුරු ධුරයට පත් වූ බව සඳහන් කළා.
2019 වසරේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු ලෙස උසස් වීම් ලැබූ ඔහු නීති ක්ෂේත්රයේ දැඩි කතාබහට ලක්වූ තීන්දු ගණනාවක් ප්‍රකාශයට පත් කිරීමට දායක වී ඇතැයි සඳහන් කළා.
1802 වසරේ මෙරට අධිකරණ පද්ධතිය ස්ථාපිත වීමෙන් පසු අභියාචනාධිකරණයට සහ ශ්‍රේෂ්ඨාධිකරණට ඉන්දියානු සම්භවය සහිත දමිළ ප්‍රජාව නියෝජනය කරමින් පත් වූ පළමු විනිසුරුවරයා ලෙස තුරෙයි රාජා මහතා ඉතිහාස ගත වන බවත් නීතිපතිවරයා සදහන් කළා.
නීතිපතිවරයා වැඩිදුරටත් සිය කතාව තුළින් කියා සිටියේ රජයේ නීතිඥවරයෙකු ලෙස ළමා අපචාර, මත්ද්‍රව්‍ය ජාවාරම්, සංක්රමනික ජාවාරම් වැනි අපරාධ වලට සම්බන්ධ නඩු මෙහෙයවීම සඳහා තුරෙයි රාජා මහතා විශේෂ දස්කම් දැක්වූ බවත් එහි ප්‍රතිඵලයක් ලෙස එවැනි වැරදි වලට සම්බන්ධ විත්තිකරුවන් රැසකට දැඩි දඩුවම් ලබා දීමට ඔහු කටයුතු කළ බවත් සිහිපත් කළා.
ඉන් අනතුරුව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මහතා ද අදහස් පළ කළා.




