අධිකරණ අමාත්‍ය නීතීඥ හර්ෂණ නානායක්කාර මහතාට එරෙහිව ගෙන ආ විශ්වාසභංග යෝජනාව පරාජයට පත්වුවද සටන අත්නොහරින බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජබර් රහුමාන් මහතා පවසනවා. ඔහු කියා සිටියේ ඉදිරියේදී මෙම චෝදනා සම්බන්ධයෙන් ජනතාව ද දැනුවත් කරන බවයි. සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජබර් රහුමාන් මහතා මෙම අදහස් පළ කළේ නෙත් නිවුස් සමග සංවාදයකට එක්වෙමින්.
අධිකරණ අමාත්‍ය නීතීඥ හර්ෂණ නානායක්කාර මහතාට එරෙහිව ගෙන ආ විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවේදී ඊයේ වැඩි ඡන්ද 116 කින් පරාජයට පත්වුණා.
යෝජනාවට විපක්ෂව ලැබුණු ඡන්ද ගණන 152ක්. පක්ෂව ලැබුණේ ඡන්ද 36 ක් පමණයි.
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජබර් රහුමාන් මහතා නෙත් නිවුස් සමග සංවාදයකට එක්වෙමින් දැක්වූ අදහස් පහතින්.
නෙත් නිවුස් මාණ්ඩලික වාර්තාකරු ලහිරු කපුගේ :
ඔබතුමාලා අධිකරණ ඇමතිවරයාට එරෙහිව විශ්වාසභංග ඉදිරිපත් කරලා විවාදයට ගත්තා. වැඩි ඡන්දයෙන් පරාජයට පත්වීමක් වුණා. දැන් ඔබතුමන්ලාගේ ඉදිරි ක්‍රියාමාර්ගය මොකක්ද මේ සම්බන්ධයෙන්?
පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා:
විශ්වාසභංගය පැරදුනායි කියලා එතුමාට තියෙන චෝදනාවල්, එතුමන්ලා බලයට එන්න කලින් ජනතාවට ලබා දීපු පොරොන්දු ඒ කිසිවක් අහෝසි වෙලා නෑ. පාර්ලිමේන්තුව ඇතුළේ ඉතින් එතුමන්ලාට 159ක් තියෙන හින්දා ඒක ජයග්‍රහණය කරගත්තා.
නමුත් ඇමතිවරයෙක් හැටියට එතුමාට මේක වලක්වා ගන්න තිබිච්ච අවස්ථාවක් වලක්වා නොගැනීම, ඒ සම්බන්ධයෙන් එතුමාගේ මැදිහත්වීම හා ක්‍රියාකලාපය තියෙන්නේ අකාර්යක්ෂමතාවය... ඒ සියලු චෝදනා වලට ආණ්ඩුවේ පැත්තෙන් උත්තර දුන්නෙත් නෑ. ඒගොල්ලෝ ආණ්ඩුවේ ඇමතිවරුන් විවාදයේදී අපි ගෙනාපු තර්ක, අපි ගෙනාපු චෝදනා වලට උත්තර දුන්නේ නෑ. ඒගොල්ලෝ වෙන වෙන දේවල් දේශපාලන කතා කරා.
ඉතින් මම හිතනවා අපි මේ ගෙනාපු තර්ක ඒ දේවල් ජයග්‍රහණය කරා. ඉතින් ඡන්දය ඒගොල්ලන්ට වැඩියෙන් තියෙන හින්දා ඒගොල්ලෝ ජයග්‍රහණය කරා. ඉතින් අපි ඉස්සරහටත් අපි මේ ගෙනාපු චෝදනාවල් ජනතාව දැනුවත් කරමින් අපි ඉස්සරහට ගෙනියනවා.
එතුමා විෂයභාර ඇමතිවරයා හැටියටවත් උත්තර දුන්නේ නෑ. දැන් අපි ප්‍රධාන චෝදනාවක් එල්ල කරා, පස් වෙනිදා - ඒ කියන්නේ ඉරිදා හවස - විදේශීය සිරකරුවන් 12 දෙනෙක්ව අයින් කරගත්තා කියලා. එතකොට ඒ අයින් කරගත්තේම ප්‍රශ්නය ඉවර නැති හින්දා. ඉතින් අඩුම ගානේ ඒකටවත් උත්තරයක් දුන්නේ නෑ, ඒ කියන්නේ අයින් කරාද නැද්ද කියන එකවත්.
නෙත් නිවුස් මාණ්ඩලික වාර්තාකරු ලහිරු කපුගේ:
චෝදනා තියෙද්දිත් ඉවත් නොවීම සම්බන්ධයෙන් මොකක්ද ඉදිරියට ගන්න ක්‍රියාමාර්ගය?
පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා:
නෑ, ඒක තමයි ඉතින්. ඉවත් නොවීම සම්බන්ධයෙන් තියෙන්නේ ඉතින් ඒගොල්ලන්ට ඡන්දෙ දීපු ජනතාව, ජනමතයට ඒගොල්ලෝ අද විරුද්ධව වැඩ කරලා තියෙනවනේ. ඒගොල්ලෝ බලයට එනකොට කිව්වා ඇමතිවරයෙක්ගේ වගකීම, වගවීම, විනිවිදභාවය... ඊළඟට ඒගොල්ලෝ අලුත් දේශපාලන සංස්කෘතියක් හදනවා කියලා කිව්වා. එහෙම තනතුරුවල එල්ලීගෙන ඉන්නේ නෑ කියලා කිව්වා. අද ඒගොල්ලෝ ඒ ලබාදීපු සියලු දේවල් ඒ වෙනුවෙන් ඡන්දය දීපු ඒ ජනතාවට ඒගොල්ලෝ ඡන්ද කාලවලදී කියපු දේවල් රැක්කේ නැහැයි කියන එක අද ඔප්පු වුණා.
විශ්වාසභංගයෙන් ගේන්න කලින් අපි දන්නවා ඒගොල්ලන්ට 159ක් තියෙනවා, ඒගොල්ලෝ ජයග්‍රහණය කරනවා කියලා. ඉතින් ඒක විතරක්... ඒ විශ්වාසභංගය ගෙනේම තුළ අපිට පුළුවන් වුණා අධිකරණ ඇමතිවරයාගේ තිබෙන අකාර්යක්ෂමතාවය, ඔහුගේ ක්‍රියාකලාපයේදී ඔහු කරපු වැරදි, ඔහු මේ සම්බන්ධ වීම සම්බන්ධයෙන් ඔහු කරපු මැදිහත්වීම්, ඊළඟට ඔහුට තියෙන බලතල අනුව ඔහු ක්‍රියාත්මක නොවීම, ඒ සියලු දේවල් විවාදයේදී හෙළිදරව් වුණා.




