රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය නියෝජනය කරන විශේෂඥ වෛද්‍යවරු අද පෙරවරු අටේ සිට ආවරණ රාජකාරිවලින් ඉවත් වන බව එම සංගමය පවසනවා.

ඒ අනුව දිවයින පුරා පිහිටි විශේෂඥ වෛද්‍ය ඒකක 164ක විශේෂඥ වෛද්‍යවරු සිදුකරන ආවරණ රාජකාරිය සිදු නොකරන බවයි රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස මහතා පැවසුවේ.

කෙසේවෙතත් වෛද්‍යවරු අනියුක්ත කර ඇති රෝහල්වල පමණක් තම රාජකාරිය සිදු කරන බවත් අත්‍යවශ්‍ය සේවාවන් කිසිදු ගැටලුවකින් තොරව පවත්වාගෙන යාමට කටයුතු කරන බවත් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස මහතා පැවසුවා.

මේ අතර ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය දින කිහිපයක සිට විවිධ වෘත්තීය ක්‍රියාමාර්ගවල නිරතවීමට බලපෑ හේතු සම්බන්ධයෙන්ද මෙහිදී අදහස් දැක්වූවා.