අත්හිටුවා තිබූ නැගෙනහිර පළාත් රෝහල්වල වෛද්‍ය වර්ජනය අද පෙරවරු 8ට යළි ආරම්භ කර තිබෙනවා.
අක්කරෙපත්තුව මූලික රෝහලේ වෛද්‍ය අධිකාරිවරයාගේ අත්තනෝමතික ක්‍රියාකලාපය සහ විෂමාචාර චෝදනා සම්බන්ධයෙන් පාරදෘශ්‍ය විමර්ශනයක් සිදුකිරීමත්, එම විමර්ශනය ස්වාධීනව සිදුකිරීම සඳහා අදාළ වෛද්‍ය අධිකාරිවරයා එම තනතුරෙන් තාවකාලිකව ඉවත් කිරීමත් යන ඉල්ලීම් මුල්කරගනිමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් පසුගිය සතියේ මෙම වැඩ වර්ජනය ආරම්භ කරනු ලැබුවා.
සමස්ත නැගෙනහිර පළාතේම ආරම්භ කරන ලද එම වැඩවර්ජනය තෛපොංගල් උත්සවය හේතුවෙන් තාවකාලිකව අත්හිටවූ අතර ඒ අනුවයි අද යළි වැඩවර්ජනය ආරම්භ කෙරුණේ.
ඒ, මෙතෙක් එම ගැටළුවට සාධාරණ හෝ සාධනීය විසඳුමක් ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය අසමත් වීම හේතුවෙන්.
වැඩවර්ජනය හේතුවෙන් නැගෙනහිර පළාතේ සියලුම රෝහල්වල දෛනික සහ සාමාන්‍ය ප්‍රතිකාර සේවාවන් ක්‍රියාත්මක නොකරන අතර වැඩවර්ජන කාලය තුළදී හදිසි සහ අත්‍යවශ්‍ය ප්‍රතිකාර සේවාවන් අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම සඳහා සියලු කටයුතු යොදා ඇති බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වැඩිදුරටත් පැවසුවේ.




