ක්‍රිකට් පරිපාලනයේ වෙනසක් සිදු විය හැකි තීරණාත්මක, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විශේෂ විධායක කමිටු රැස්වීමක් අද පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඒ, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා මහතා ඉල්ලා අස්වීමට නියමිත බවට වාර්තා පලවී ඇති පසුබිමකයි.

අද පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා ක්‍රිකට් විශේෂ විධායක කමිටු රැස්වීමේදී ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට නියමිත බවයි වාර්තා වන්නේ.

සභාපතිවරයාට අමතරව සමස්ත නිලධාරි මණ්ඩලයම ඉල්ලා අස්වනවාද යන්න එම රැස්වීමේදී තීරණය කිරීමට නියමිත බවද ශ්‍රී ලංකා ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ග අනාවරණ කළා. මෙම තීරණාත්මක රැස්වීම පැවැත්වීමට නියමිතව ඇත්තේ අද පස්වරුවේයි.

මේ අතර මෙවැනි ඉල්ලා අස්වීමක් සිදු වීමට නියමිතදැයි නෙත් නිව්ස්  ඊයේ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතාගෙන් විමසුවා. ඊට අමාත්‍යවරයා නිෂ්චිත පිළිතුරක් ලබා නොදුන්නද එම පුවත ප්‍රතික්ෂේප කළේ නැහැ.

ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුවට සාමාජිකයින් 17 දෙනෙකු ඇතුළත්.

ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය මෙහෙවන්නේද ඔවුන් විසින්.

ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුවට සාමාජිකයින් තෝරා ගැණෙන්නේ ජන්දයකින්.

ශම්මි සිල්වා මහතා 2019 වසරේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ධුරයට මුල්වරට තේරී පත් වූ අතර ඔහු එතැන් සිට මේ දක්වා වසර 7ක කාලයක් සභාපති ධුරයේ කටයුතු කරමින් සිටිනවා.