ශ්‍රී දළදා වහන්සේ වැඩසිටීම සඳහා රත්රන් කරඬුවක් පූජාවක් ලෙස ලැබුණු බව මල්වතු - අස්ගිරි මහා නාහිමිපාණන් වහන්සේලා සහ දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතා විසින් සංදේශයක් මඟින් බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා වෙත දැනුම් දී තිබෙනවා.
අත්තිඩියේ කමන්ත අමරසේකර මහතා ඇතුළු පවුලේ ඥාතීන්ගේ සහ හිතවතුන්ගේ පූර්ණ මූල්‍ය දායකත්වයෙන්, දළදා වහන්සේගේ භාරකාරත්වයේ පූර්ණ අනුමැතිය සහිතව මෙම රන් කරඬුව පූජා කර ඇති බවයි නෙත් නිවුස් නියෝජිත ජේ ඒ එල් ජයසිංහ පැවසුවේ.
ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සහතික කළ වාර්තාවලට අනුව මෙම කරඬුවේ සම්පූර්ණ බර කිලෝග්‍රෑම් 86.04 ක්. ඊට කිලෝග්‍රෑම් 65.224 ක රත්රන් ප්‍රමාණයක් සහ කිලෝග්‍රෑම් 20.822 ක බරින් යුත් විවිධ මැණික් ගල් අඩංගු බවද සඳහන්.
මේ අතර, දෙවන විමලධර්මසූරිය රජතුමා විසින් ඉදිකිරීම ආරම්භ කර කීර්ති ශ්‍රී රාජසිංහ රජ දවසේ සම්පූර්ණ කරන ලද, මෙතෙක් දළදා වහන්සේ වැඩසිටි ඓතිහාසික රන් ආලේපිත රිදී මහ කරඬුව එහි අනන්‍යතාව රැකෙන පරිදි දළදා මාළිගා අභ්‍යන්තරයේ සුරක්ෂිතව තැන්පත් කිරීමට පියවර ගෙන ඇති බවද අදාළ සංදේශයේ වැඩිදුරටත් සඳහන්.
මේ අතර ශ්‍රී දළදා වහන්සේ වැඩ සිටීම සඳහා රත්රන් කරඬුවක් පූජා කිරීම සම්බන්ධයෙන් බෞද්ධ කටයුතු කොමාසාරිස් ජනරාල් ආර්.එම්.ජී.සේනාරත්න මහතා ද අදහස් පළ කළා.
"පසුගිය සැප්තැම්බර් 8 වෙනිදා දවසේ මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේදී දළදා සමිඳුන් වැඩ සිටීම සඳහා මෙතෙක් කාලයක් පාවිච්චි කරන ලද රන් ආලේපිත කරඬුව වෙනුවට සම්පූර්ණයෙන්ම රත්තරනින් නිමකරන ලද කරඬුවක් පෞද්ගලික ධන පරිත්‍යාගයක් ලෙස දළදා මාලිගාවට පූජා කරනු ලැබුවා. ඒ අවස්ථාවට මල්වතු අස්ගිරි උභය මහා පාර්ශවයන්හි නායක ස්වාමීන් වහන්සේලා වගේම දියවඩන නිලමේතුමාත්, දළදා මාලිගාවේ කාර්ය මණ්ඩලයත්, මමත් සහභාගී වුණා. ඒ අවස්ථාවේදී පැරණි රන් ආලේපිත කරඬුව වෙනුවට අභිනවයෙන් පූජා කරන ලද කරඬුව තුළ දන්ත ධාතූන් වහන්සේ ඇතුළු ඒ අවශේෂ පූජා ද්‍රව්‍යයන් තැන්පත් කිරීමට කටයුතු කරන බවට මහා නායක ස්වාමීන් වහන්සේලාත්, දියවඩන නිලමේතුමාත් කරුණු පැහැදිලි කළා. ඒ අනුව පැරණි රන් ආලේපිත කරඬුවත් දැනට වැඩසිටින මාලිගාවේම විශේෂ ස්ථානයක තැන්පත් කිරීමට කටයුතු කරන බවට අදාළ දැනුම්දීම් මහා නායක ස්වාමීන් වහන්සේලාත්, දියවඩන නිලමේතුමාත් අත්සනින් යුක්තව මාව ලිඛිතව දැනුවත් කරලා තියෙනවා."




