සංචාරක බංගලාදේශය කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ජය පැරදුමකින් තොරව අද අවසන් වුණා.

තරගයේ පළමු ඉනිම සඳහා බංගලාදේශය කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 495ක් රැස් කළා.

ශ්‍රී ලංකා කණ්ඩායමට පළමු ඉනිම සඳහා සියලු දෙනා දැවී රැස්කල ලකුණු සංඛ්‍යාව 485ක්.

අනතුරුව සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කිරීම සඳහා පිටියට පිවිසි සංචාරක බංග්ලාදේශ කණ්ඩායම කඩුලු 06ක් දැවී ලකුණු 285ක් රැස්කර සිටියදී සිය ඉනිම අත්හිටුවනු ලැබුවා.

ඒ අනුව තරගය ජය ගැනීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට හිමි වූ ඉලක්කය ලකුණු 296ක්. කෙසේවෙතත් දිනය නිමා වන විට කඩුලු 04ක් දැවී ශ්‍රී ලංකා කණ්ඩායමට රැස් කිරීමට හැකි වුණේ ලකුණු 72ක් පමණයි.

තරගය පුරා නායකත්ව ඉනිමක් ක්‍රීඩා කළ බංග්ලාදේශ ටෙස්ට් නායක නජ්මුල් හුසේන් ශන්ටෝ පළමු ඉනිමේදී ලකුණු 148ක් සහ දෙවැනි ඉනිමේදී නොදැවෙනි ලකුණු 125ක් රැස් කළා.

පැතුම් නිස්සංක ද පළමු ඉනිමේදී ලකුණු 187ක් රැස්කල අතර ඔහුගේ ඉනිමට එක් හයේ පහරක් සහ හතරේ පහර 23ක් ඇතුළත් වුණා.

මේ අතර ශ්‍රී ලාංකීය ක්‍රිකට් ක්‍රීඩාවේ සොඳුරුතම යුගයේ අවසන් පුරුක ඇන්ජලෝ මැතිව්ස් සිය ජාත්‍යන්තර ටෙස්ට් පිටියෙන් අද සමු ගත්තා.

ඔහු අද ශ්‍රී ලංකා දෙවැනි ඉනිමේදී ලකුණු 08ක් රැස්කර සිටියදී දැවී ගියා.

ඒ අනුව පිටියෙන් මැතිව්ස් අද ඉවත් වුණේ ක්‍රීඩා ලෝලීන්ට ආචාර කරමින්.

2008 වර්ෂයේ දී සිය ජාත්‍යන්තර ක්‍රිකට් දිවිය ආරම්භ කරන මැතිව්ස්ට වසර 17ක් පුරාවට සිය තුන් ඉරියව් දක්ෂතාවයන් පෙන්වා සිය ක්‍රීඩා ලෝලීන් පිනවීමට ඔහුට හැකියාව ලැබුනා.

වත්මන් ටෙස්ට් ක්‍රිකට් පිලෙහි නැංගුරම වූ ඇන්ජලෝ මැතිව්ස් 2009 දී පාකිස්තානයට එරෙහිව ගාල්ලේදී පැවැත්වුණු තරගයෙන් ටෙස්ට් වරම් ලබා ගනිද්දී ඔහුගේ අවසන් ටෙස්ට් තරගයත් අද ගාල්ලේ පැවැත්වීම විශේෂත්වයක්.

මැතිව්ස් සිය ටෙස්ට් දිවියේදී ටෙස්ට් තරඟ 118කදී ඉනිම් 216ක්, ටෙස්ට් ශතක 16ක් සහ අර්ධ ශතක 45ක් සමඟින් ලකුණු 8,167ක් රැස් කර ගත්තා.

ශ්‍රී ලංකාව ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ තුන්වන වැඩිම ලකුණුලාභියා ලෙස ඇන්ජලෝ මැතිව්ස් හැඳින්විය හැකි බවයි ක්‍රිකට් විචාරකයින් පැවසුවේ.

2013 වසරේදී ශ්‍රී ලංකාවේ ටෙස්ට් නායකත්වය තමන් උරමතට ගත් ඇන්ජලෝ මැතිව්ස් නම් වූ ඒ අසහාය ක්‍රීඩකයාට ටෙස්ට් තරග 32කදී තරග 13ක් ජයග්‍රහණය කරවීමට හැකියාව ලැබුණා.

තමන්ට සහාය දුන් ක්‍රීඩාලෝලීන්ට අද පැවති තරගයෙන් අනතුරුව ඇන්ජලෝ මැතීව්ස් සිය ස්තූතිය පළ කළේ මෙලෙසයි.