තමන් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ සාමාජිකයින් බවට පාර්ලිමේන්තුවට දැනුම් දෙන්නැයි මැතිවරණ කොමිසම වෙත නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රී එම කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් සහ එහි මහ ලේකම් නිසාම් කාරියප්පර් යන මහත්වරු විසින් ගොනු කළ පෙත්සමක් විභාගයට ගැනීමට අවසර දීමකින් තොරව නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළා.
රවුෆ් හකීම් සහ නිසාම් කාරියප්පර් යන මහත්වරු විසින් ඉදිරිපත් කළ මෙම පෙත්සම අද අගවිනිසුරු ප්‍රීති පද්මන් සුවසේන සහ අචල වෙංගප්පුලි යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.
එම අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් විවේකා සිරිවර්ධන මහත්මිය අධිකරණය හමුවේ මූලික විරෝධතා මතු කරමින් මෙම පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන ලෙස ඉල්ලා සිටියා.
ඉකුත් මහ මැතිවරණය පැවතියේ 2024 වසරේ නොවැම්බර් මස බව පෙන්වා දුන් අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය මෙම පෙත්සම ගොනු කර තිබෙන්නේ 2025 වසරේ ඔක්තෝබර් මාසයේ බවත් සඳහන් කළා.
ඒ අනුව නිසි කාලය ඉක්මවා යාමෙන් පසුව පෙත්සම්කරුවන් මේ පෙත්සම ඉදිරිපත් කර තිබෙන බවත් ඇය පැවසුවා.
ඊට අමතරව පෙත්සම්කරුවන් දෙදෙනා පාර්ලිමේන්තුවට තේරී පත්වී ඇත්තේ සමගි ජන බලවේගය සමග ඇති කරගත් සන්ධානයක් යටතේ බවත් ඒ අනුව සමගි ජන බලවේගයේ මහ ලේකම්වරයා මෙම පෙත්සමේ වග උත්තරකරුවකු ලෙස නම් නොකිරීම ඌනතාවක් බවත් ඇය සඳහන් කළා.
කෙසේ වෙතත් පෙත්සම්කරුවන්ගේ ඉල්ලීම මත ඔවුන් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ සාමාජිකයින් බවට මැතිවරණ කොමිසම විසින් පාර්ලිමේන්තුව වෙත දැනටමත් ලිපියක් නිකුත් කර තිබෙන බව පෙන්වා දුන් අතිරේක සොලිසිටර් ජෙනරාල් වරිය ඒ අනුව පෙත්සම නිෂ්ප්‍රභ ලෙසත් ඉල්ලා සිටියා.
එහිදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ එම්.ඒ. සුමන්දිරන් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් ඉකුත් මහ මැතිවරණයේදී තම සේවාදායකයින්ගේ පක්ෂය වන ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, සමගි ජන බලවේගය සමඟ සන්ධාන ගත වී මහ මැතිවරණයට තරඟ කළ බව පෙන්වා දුන්නා.
ඒ අනුව ඔවුන් සමගි ජන බලවේගයේ සාමාජිකයින් බවට මැතිවරණ කොමිසම විසින් පාර්ලිමේන්තුවට දැනුම් දී ඇති බවත් ජනාධිපති නීතිඥවරයා කියා සිටියා.
එම නිසා තම සේවා දායකයින් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්රසී සාමාජිකයින් බවට පාර්ලිමේන්තුවට දැනුම් දෙන්නැයි මැතිවරණ කොමිසම වෙත නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා මෙම නඩුකරය ගොනු කිරීමට සිදුවූ බවත් ඔහු පැවසුවා.
කෙසේ වෙතත් පෙත්සම්කරුවන් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ සාමාජිකයින් බවට මැතිවරණ කොමිසම විසින් දැනටමත් ලිපියක් නිකුත් කර ඇති බැවින් මෙම පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට ඉඩ දෙන ලෙසත් ජනාධිපති නීතිඥවරයා ඉල්ලීමක් කළා.
මේ අවස්ථාවේදී අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා සඳහන් කළේ ඡන්දදායකයින් ඡන්දය ප්‍රකාශ කර තිබෙන්නේ සන්ධානයකට බැවින් මෙම පෙත්සම්කරුවන් පාර්ලිමේන්තුව තුළ පක්ෂයක් නියෝජනය කරන්නේ කෙසේදැයි විමසුවා.
ඊට ප්‍රතිචාර දැක්වූ ජනාධිපති නීතිඥ සුමන්දිරන් මහතා ඡන්ද දායකයින් සන්ධානයක් වෙත ඡන්දය ප්‍රකාශ කර තිබුණද මනාප ඡන්ද තුළින් තමන් කැමති සාමාජිකයකු තෝරා ගැනීමට අවස්ථාව සලසා දී ඇති බව පැවසුවා.
කෙසේ වෙතත් දෙපාර්ෂවය ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල මෙම පෙත්සම විභාගයට ගැනීම සඳහා නොතිසි නිකුත් කිරීමකින් තොරව නිෂ්ප්‍රභ කිරීමට තීන්දු කළා




