වයස අවුරුදු 19න් පහළ එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් කණ්ඩායම් හතර අතරට පිවිසීමේ බලාපොරොත්තු රඳවා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ඊයේ රාත්‍රියේ හැකි වුණා.

ඒ, ඊයේ පැවති තීරණාත්මක තරගයෙන් දකුණු අප්‍රිකාවට එරෙහිව කඩුලු 5ක විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගැනීමත් සමගයි.

සිම්බාබ්වේහි බුලවායෝහිදී පැවති මෙම තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකාව නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 07ක් දැවී ලකුණු 261ක් රැස් කළා.

ලකුණු 262ක ඉලක්කය කඩුලු 5ක් දැවී තිබියදී තරගයේ 46වන පන්දුවාරයේ දී පසුකර යෑමට ශ්‍රී ලංකා යොවුන් පිතිකරුවන් සමත් වුණා.

එහිදී විරාන් චමුදිත පන්දු 94කදී ලකුණු 110ක් රැස් කළා.

මෙම ජයග්‍රහණයත් සමග මෙවර ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටයේ බලාපොරොත්තු තවදුරටත් රඳවාගැනීමට ශ්‍රී ලංකාවට හැකිවුණා.

එහෙත් එහි අවසන් තීරණය ලැබෙන්නේ අද පැවැත්වෙන ඇෆ්ගනිස්තානය හා අයර්ලන්තය අතර තීරණාත්මක තරගයේ ප්‍රතිඵලය මතයි.

එම තරගයෙන් ඇෆ්ගනිස්තානය පරාජය වුවහොත් ශ්‍රී ලංකාවට සෘජුවම අවසන් පූර්ව වටයට පිවිසිය හැකි වනවා. එහෙත් ඇෆ්ගනිස්තානය ජයගතහොත් ශුද්ධ ලකුණු වේගය අනුව කණ්ඩායම් දෙකෙන් එකකට එම අවස්ථාව උදාවනු ඇති.
කෙසේවෙතත් මූලික වටයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම ඕස්ටේ්‍රලියාව හමුවේ ලකුණු 58කට දැවීයාම හේතුවෙන් ශ්‍රී ලංකාව පසුවන්නේ අවදානම් තත්ත්වයකයි.

ඒ අනුව ඇෆ්ගනිස්තානය අද තරගය ජයගතහොත් ඔවුන්ට අවසන් පූර්ව වටයට පිවිසීමට වැඩි ඉඩක් පවතිනවා.