ඉල් පුර පසළොස්වක පොහොය අදට යෙදී තිබෙනවා. ශාසනික වශයෙන් මෙන්ම ඓතිහාසික වශයෙන් ද වැදගත් සිදුවීම් රැසක් ඉල් පුර පසළොස්වක පොහොය දිනයේදී සිදුව ඇති බවයි ශාසන ඉතිහාසයේ සඳහන් වන්නේ.

ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ අනුරාධපුර ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය පණාමුරේ චන්දිම ස්වාමීන් වහන්සේ.
"තෙරුවන් සරණයි හැමදෙනාටම. අද ඉල් පුර පසළොස්වක් පොහෝ දිනය, සම්බුද්ධ ශාසනයේ වැදගත් සිදුවීම් රාශියක් සිද්ධ වෙච්ච සුවිශේෂී පොහෝ දිනයක් හැටියට අද දවස හඳුන්වන්නට පුළුවන්කම තිබෙනවා. ප්‍රථම ධර්ම දූත පිරිස පිටත් කර හැරීම අද දවසේදී සිද්ධ වුණේ. ඒ වගේම කඨින චීවර මාසයේ අවසාන දිනය හැටියටත් මේ ඉල් පුර පසළොස්වක පොහොය හඳුන්වන්නට පුළුවන්කම තිබෙනවා. මෛත්‍රිය බෝසතාණන් වහන්සේ විවරණ ලබා ගත්තෙත් අද වගේ පුර පසළොස්වක් පොහෝ දවසක. ඒ වගේම සාරිපුත්ත මහ රහතන් වහන්සේ පිරිනිවන් පෑම සිදු වූයේ මෙවැනි ඉල් පුර පසළොස්වක් පොහෝ දවසක. තුන්බෑ ජටිලයන් දමනය කර ථූපාරාමය ඉදිකිරීමත් ශාසනික ඉතිහාසයේ වැදගත් සිදුවීම් හැටියට සලකන්නට පුළුවන්. මේ සිදුවීම් සියල්ලම මෙම ඉල් පුර පසළොස්වක් පොහෝ දවසේදී සිදුවී තිබෙන බව සඳහන් වෙනවා."

මේ අතර ඉල් පුර පසළොස්වක පොහොය නිමිතිකර ගනිමින් නෙත් එෆ් එම් රේඩියෝව සංවිධාන කරන ශ්වේත පූජා වැඩසටහන අද දවස පුරා පැවැත්වෙනවා.

සුපුරුදු පරිදි එම වැඩසටහන් නෙත් එෆ් එම් රේඩියෝව ඔස්සේ සජීවීව ප්‍රචාරය කිරීමටද කටයුතු යොදා තිබෙනවා.