රාජ්‍ය බැංකුවකින් සිරිලිය සවිය සංවිධානය වෙත රුපියල් මිලියන දහයක් ලබාදීමේ සිද්ධිය සම්බන්ධ සැකපිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ශිරන්ති රාජපක්ෂ මහත්මිය පිළිබඳ වෛද්‍ය වාර්තාව අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වුණා.

මෙම නඩුකරය අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී මේ බව දැනුම් දෙනු ලැබුවා.

එම වෛද්‍ය වාර්තාව පරීක්ෂා කළ මහේස්ත්‍රාත්වරයා කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂවරයාගේ ආවරණ ලිපියක් සහිතව මෙම වාර්තාව ඉදිරිපත් කර තිබෙන බව පැවසුවා.

මෙම සැකකාරියගේ රෝගී තත්ත්වය පිළිබඳව එම වාර්තාවේ සඳහන් කර ඇතැයි විවෘත අධිකරණයේ ප්‍රකාශ කළ මහේස්ත්‍රාත්වරයා සැකකාරියට ”බයිපාස්” සැත්කමක් සිදු කළ යුතු බවට එහි සඳහන්ව ඇති බවත් පැවසුවා.

එම අවස්ථාවේදී අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා අධිකරණයට දැනුම් දුන්නේ එම වෛද්‍ය වාර්තාව පරීක්ෂා කිරීමෙන් අනතුරුව තමන්ට කරුණු දැක්වීමට අවසර දෙන ලෙසයි.