ඉකුත්දා ඉන්දියාවේදී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ සංවිධානාත්මක අපරාධකරුවකු බව කියන "කෙසෙල්වත්ත දිනූෂ" නමැත්තා සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන වාර්තාවක් කෙසෙල්වත්ත පොලිසිය විසින් අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළා.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග .එස්. බෝදරගම මහතා ඉදිරියේ මෙම නඩුකරය කැඳවනු ලැබුවා.

එහිදී කෙසෙල්වත්ත පොලිසියේ ස්ථානාධිපතිවරයා අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරමින් දැනුම් දුන්නේ අදාළ සැකකරු දින 90 ක කාලයක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට රැඳවුම් නියෝග ලබාගෙන තිබෙන බවයි.

ඒ අනුව මිනීමැරුම්, කොල්ලකෑම් සහ තුවාල කිරීම ඇතුළු අපරාධ සිද්ධීන් අටක් සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරන බවත් පොලිසිය අධිකරණයට දන්වා සිටියා.

ඉන් අනතුරුව මෙම පැමිණිල්ල පෙබරවාරිමස 14 වන දා කැඳවීමට නියම කළ මහේස්ත්‍රාත්වරයා එදින විමර්ශනවල ප්‍රගතිය අධිකරණයට දැනුම් දෙන ලෙසත් නියම කළා.