එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය අතර ඊයේ සිදුවූ හමුවේදී පක්ෂ දෙකෙහි එකතුව පිළිබඳ කිසිදු සාකච්ඡාවක් සිදුව නොමැති බව වාර්තා වනවා.

දේශපාලන ආරංචිමාර්ග පවසන්නේ මෙම හමුවේදී රටේ වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳ පමණක් සාකච්ඡා වූ බවයි.

ඒ අනුව ගංවතුර ආපදා, සහනාධාර බෙදීම් සහ ජාත්‍යන්තර සහය පිළිබඳ මෙහිදී සාකච්ඡා වී ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේවෙතත් ඉදිරි දිනකදී යළි මුණගැසී සාකච්ඡා කිරීමට දෙපාර්ශවයේ නියෝජිතයින් එකඟතාව පළ කර තිබෙනවා.

ඊයේ පවත්වා ඇති සාකච්ඡාව ඉතා සුහදශීලීව පැවති බවටයි වාර්තා පළ වන්නේ.

එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය අතර ඊයේ දහවල් මෙම හමුව සිදුව තිබුණේ කොළඹ පිහිටි ප්‍රධාන පෙළේ හෝටලයකදීයි.

මෙම සාකච්ඡාව සඳහා එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් එහි නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන, උප නායක අකිල විරාජ් කාරියවයසම්, උප සභාපති නවීන් දිසානායක යන මහත්වරුන් එක්ව තිබුණා.

සමගි ජන බලවේගය නියෝජනය කරමින් එහි නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ලක්ෂ්මන් ෆොන්සේකා මහතා ඊට එක්ව සිටියා.