අයථා ලෙස වත්කම් රැස්කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් වාස් ගුණවර්ධන මහතාගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කළ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය සැකකරු ලබන 31 වන දා දක්වා තවදුරටත් රිමාන්ඩ් භාරයේ තැබීමට නියම කළා.

අල්ලස් කොමිසමේ නිලධාරීන් හා සැකකරුගේ නීතිඥවරයා ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා විසින් මෙම නියෝගය නිකුත් කළා.

මෙම නඩුකරය අද කැඳවූ අවස්ථාවේදී 2013 වසරේ මාර්තු මස 31 වනදා සහ 2014 වසරේ මාර්තු මස 31 වනදා අතර කාල සීමාව තුළ විදේශ කටයුතු අමාත්‍යාංශය භාර අධීක්ෂණ මන්ත්‍රීවරයා වශයෙන් කටයුතු කරමින් රුපියල් ලක්ෂ 2400ට අධික වත්කම් අයතා ලෙස රැස් කිරීම සම්බන්ධයෙන් මෙම සැකකරු පිළිබඳ විමර්ශන ආරම්භ කළ බවත් පැවසුවා.

මෙම විමර්ශනවලදී සැකකරුගේ බිරිඳට අයත් බැංකු ගිණුමක රුපියල් ලක්ෂ 340 කට අධික මුදලක් පවතින බවට අනාවරණය වී ඇති අතර ඒ සම්බන්ධයෙන් ඇයගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමට අවශ්‍ය බවත් එම නිලධාරියා සඳහන් කළා.

ඊට අමතරව 2013 වසරේ සැකකරුගේ බිරිඳගේ නමින් සමාගමක් ලියාපදිංචි කර කොළඹ තුරඟ තරග පිටිය ගොඩනැගිල්ලේ වර්ග අඩි 3000ක හෝ 4000 ක ගොඩනැගිල්ලක ව්‍යාපාරයක් ආරම්භ කර තිබෙන බවත් ඒ සඳහා රුපියල් ලක්ෂ 400 කට වැඩි මුදලක් වැය වී ඇති බවට කරුණු අනාවරණය වී ඇති බවත් ඔහු සඳහන් කළා.

මෙම විමර්ශනවලට අදාළ ලේඛන 2016 වසරේ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් රැගෙන ගොස් තිබෙන බවත් එම ලේඛන ලබාගෙන යළි විමර්ශන සිදු කිරීමට සිදුව ඇති බවත් ඔහු පෙන්වා දුන්නා.

ඒ අනුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට අවශ්‍යව තිබෙන හෙයින් මෙම සැකකරු තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අල්ලස් කොමිසමේ නිලධාරියා අධිකරණයෙන් ඉල්ලා සිටියා.

ඉන් අනතුරුව සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ජීවන්ත ජයතිලක මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුකරයට පාදක වන කරුණුවලට අදාළව සිය සේවා දායකයාට එරෙහිව මේ වන විට කොළඹ මහාධිකරණය හමුවේ නඩුවක් විභාග වන බව සඳහන් කළා.

මෙම නඩුකරයට අදාළ වන මුදල් ලැබීම් සහ ගෙවීම් පිළිබඳ සියලු තොරතුරු එම මහාධිකරණ නඩු විභාගයේදී සාක්ෂි වශයෙන් ඉදිරිපත් කර තිබෙන බවයි නීතිඥවරයා කියා සිටියේ.

ඊට අමතරව සිය සේවා දායකයා විසින් සිදු කළ විදේශ සංචාර සහ වියදම් යනාදිය පිළිබඳ තොරතුරු ද නීතිඥවරයා අධිකරණය හමුවේ ඉදිරිපත් කළා.

ඒ අනුව මෙම විමර්ශන කටයුතු වසර දහයකට වඩා පැරණි බවත් සිය සේවා දායකයා එම කාලසීමාව තුළ කිසිදු සාක්ෂිකරුවෙකුට බලපෑම් කර නොමැති හෙයින් ඔහු ඇප මත මුදා හරින ලෙසත් නීතිඥවරයා වැඩිදුරටත් අධිකරණයෙන් ඉල්ලා සිටියා.

දෙපාර්ශවය ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කළේ මෙම සැකකරු රිමාන්ඩ් භාරයට පත් කිරීමෙන් පසුව සටහන් කරගත් ප්‍රකාශ වලින් නව දේපළව පිළිබඳ තොරතුරු අනාවරණය වී ඇති බවයි.

එමෙන්ම මෙම විමර්ශනවලට අවශ්‍ය ඇතැම් තොරතුරු සැකකරු විසින් ලබාදී නොමැති බවට අල්ලස් කොමිසමේ ප්‍රකාශ වලින් අනාවරණය වී තිබෙන බවත් මහේස්ත්‍රාත්වරයා සඳහන් කළා.

ඒ අනුව මෙම අවස්ථාවේදී ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බව කී මහේස්ත්‍රාත්වරයා සැකකරු ලබන 31 වනදා දක්වා තවදුරටත් රිමාන්ඞ් භාරයේ තැබීමට නියම කළා.

මේ අතර අල්ලස් කොමිසම කළ ඉල්ලීමක් පිළිගත් මහේස්ත්‍රාත්වරයා සැකකාර සජීන් වාස් ගුණවර්ධන මහතාව මේ මස 26 වනදා කොළඹ මහාධිකරණයට ඉදිරිපත් කළ ලෙස බන්ධනාගාර නිලධාරීන්ට නියෝග කළා.