"දූෂණය" නැමැති වරද යටතේ අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගත් මොරටුව නගර සභාවේ හිටපු නගරාධිපති සමන් ලාල් ප්‍රනාන්දු මහතා ලබන 23 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.
අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගත් මෙම සැකකරු අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස් බෝදරගම මහතා හමුවට පමුණුවනු ලැබුවා.
එහිදී අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි පොලිස් පරීක්ෂක වූ.පී. වික්‍රමාරච්චි මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් 2017 වසරේ මොරටුව නගර සභාවේ විපක්ෂ නායකවරයා ඇතුළු විපක්ෂ මන්ත්‍රීවරු විසින් පළාත් පාලන කොමසාරිස්පරයාට ඉදිරිපත් කළ පැමිණිල්ලකට අනුව මෙම විමර්ශන ආරම්භ කර තිබෙන බව පැවසුවා.
ඒ යටතේ මග නැගුම ව්‍යාපෘතිය යටතේ නාගරික හා ග්‍රාමීය මාර්ග සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා මොරටුව නගර සභාව වෙත රුපියල් මිලියන 105 ක මුදලක් වෙන් කර තිබූ බව එම නිලධාරියා සඳහන් කළා.
චක්‍රලේඛවලට අනුව අදාළ ග්‍රාමීය මාර්ග සංවර්ධන ව්‍යාපෘති ප්‍රජාපාදක සමිති හරහා ක්‍රියාත්මක කළ යුතු බව දක්වා තිබුණත් මෙම සැකකරු අදාල මාර්ග ව්‍යාපෘති ප්‍රජා පාදක සමිති වෙත ලබා දෙන බව අඟවමින් වෙනත් පුද්ගලයින්ට ලබාදී තිබෙන බවත් ඔහු පෙන්වා දුන්නා.
මේ යටතේ ග්‍රාමීය මාර්ග ව්‍යාපෘති 112 ක් තුන්වන පාර්ශවයේ පුද්ගලයින් 08 දෙනෙකුට ලබාදී තිබෙන බවත් ඒ අනුව ඊට අදාළ මුදල් සෘජුවම තුන්වන පාර්ශයේ පුද්ගලයින්ට ගෙවා තිබෙන බව විමර්ශනවලදී කරුණු අනාවරණය වූ බවත් එම නිලධාරියා සඳහන් කළා.
මහා භාණ්ඩාගාරය විසින් නිකුත් කළ මූල්‍ය රෙගුලාසි වලට අනුව සැකකරු විසින් සිදු කළ ක්‍රියාව සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බවත් මෙම මාර්ග ව්‍යාපෘතිය පැවරීමේ කටයුතුවලදී ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය කර නොමැති බවටත් එම නිලධාරියා චෝදනා කළා.
ඊට අමතරව මෙම මාර්ගවලට ඇතිරීමට අවශ්‍ය වන කුට්ටි ගල් මෙම සැකකරු මැදිහත්වී පෞද්ගලික සැපයුම්කරුවන් හතර දෙනකුගෙන් අදාල ප්‍රජා පාදක සමිති වෙත සපයා තිබෙන බවත් එය භාණ්ඩාගාරය විසින් නිකුත් කළ චක්‍රලේඛවලට සම්පූර්ණයෙන්ම පටහැනි බවත් අල්ලස් කොමිසමේ නිලධාරියා පැවසුවා.
එම කුට්ටිගල් එකක් රුපියල් 34 ක මුදලට මිලදී ගැන ඒවා රුපියල් 37 ක මුදලකට මුදලකට සැපයුම්කරුවන්ට ලබා දී එක් ගලකින් සැකකරු විසින් රුපියල් තුනක අයුතු ලාභයක් උපයා තිබෙන බව විමර්ශනවලදී කරුණු අනාවරණය වී ඇතැයි ද ඔහු පෙන්වා දුන්නා.
මෙම කොන්ත්‍රාත්තු සඳහා ගෙවිය යුතු ගෙවීම් තුන්වන පාර්ශ්වයක් වෙත සිදු කිරීමට නගර සභාවේ නිලධාරීන් අකමැත්ත පළ කළද ඊට අදාළ චෙක්පත් ලියා නිකුත් කරන ලෙස මෙම සැකකරු විසින් එම නිලධාරීන්ට බලපෑම් කර තිබෙන බවට විමර්ශනවලදී කරුණු අනාවරණය වී ඇතැයි ඔහු පැවසුවා.
මෙවැනි ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමේදී ප්‍රජා පාදක සමිති විසින් තමන්ට ලැබෙන මුදල් වලින් සියයට 05 ක මුදලක් රඳවා ගත යුතු වුවත් මෙම කොන්ත්‍රාත්තු ප්‍රජාපාදක සමිති වලට ලබා නොදී තුන්වන පාර්ශ්වයේ වෙනත් පුද්ගලයින්ට ලබාදීම නිසා එම සියයට 05 ක මුදල ප්‍රජා පාදක සමිති වලට රඳවා ගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගත වූ බවත් එම නිලධාරියා කියා සිටියා.
මෙම සැකකරු ඇප මත මුදා හරිනු ලැබුවොත් ඉදිරි විමර්ශන කටයුතු වලට බාධා සිදුවිය හැකි බැවින් ඒ අනුව සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් පොලිස් පරීක්ෂකවරයා වැඩිදුරටත් අධිකරණයෙන් ඉල්ලීම් කළා.
මෙහිදී සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම විමර්ශන ආරම්භ වී මේ වන විට වසර අටක පමණ කාලයක් ගත වී තිබෙන බවත් එම කාලසීමාව තුළ මෙම විමර්ශනයට සම්බන්ධ කිසිදු සාක්ෂිකරුවකුට මෙම සැකකරු විසින් බලපෑම් සිදු කළ බවට කරුණු අනාවරණය වී නොමැති බවත් කියා සිටියා.
නගර සභාවට ලැබෙන මුදල් බාහිර පාර්ශවයන්ට ගෙවීමට නගරාධිපතිවරයා වශයෙන් මෙම සැකකරුට කිසිදු බලයක් නොමැති බවත් එම ගෙවීම් සම්බන්ධ කටයුතු සිදු කරනු ලබන්නේ නාගරික කොමසාරිස්වරයා ඇතුළු රජයේ නිලධාරීන් බවත් නීතිඥවරයා පෙන්වා දුන්නා.
සැකකරුට ඇප ලබාදුනහොත් ඔහු සාක්ෂිකරුවන්ට බලපෑම් සිදු කරනු ඇතැයි අල්ලස් කොමිසම විසින් ඉදිරිපත් කරන තර්කය මනංකල්පිත තත්ත්වයක් බවත් සැකකරු ඇප මත මුදා හරින ලෙසත් නීතිඥවරයා ඉල්ලීම් කළා.
මෙහිදී අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි පොලිස් පරීක්ෂකවරයා සඳහන් කළේ වර්තමානයේ මොරටුව නගර සභාවේ ලේකම්වරයා වශයෙන් කටයුතු කරන්නේ මෙම සැකකරු නගරාධිපතිවරයා වශයෙන් කටයුතු කළ සමයේ ඔහුගේ පුද්ගලික සහකාර වශයෙන් කටයුතු කළ කළමනාකරණ සහකරුවකු බව කියා සිටියා.
එම නිසා මෙම සැකකරුට ඇපලබා දුනහොත් නගර සභාවේ නිලධාරින්ට මෙන්ම සෙසු සාක්ෂිකරුවන්ට බලපෑමක් සිදුවිය හැකි බැවින් මොහු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස පොලිස් පරීක්ෂක වරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේ මෙම සැකකරු මොරටුව නගර සභාවේ නගරාධිපතිවරයා වශයෙන් කටයුතු කර තිබෙන බව අධිකරණයට ඉදිරිපත් වූ කරුණුවලින් පෙනී යන බවයි.
මෙම විමර්ශනයට අදාලව මොරටුව නගර සභාවේ නිලධාරීන් ඇතුළු තවත් සාක්ෂිකරුවන් ගණනාවක ගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිත බව අල්ලස් කොමිසම සඳහන් කර සිටී.
එම තත්ත්වය මත මෙම සැකකරුගේ ක්‍රියාකලාපය පිරික්සීමේදී ඔහුට ඇප ලබා දුනහොත් සාක්ෂිකරුවන්ට බලපෑම් සිදුවිය හැකි බව පෙනී යන හෙයින් ඔහුගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බව මහේස්ත්‍රාත්වරයා සඳහන් කර සිටියා.
ඒ අනුව මෙම සැකකරු ලබන 23 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් මහේස්ත්‍රාත්වරයා නියම කළා.
ඊට අමතරව මෙම විමර්ශනයට අදාළව මොරටුව නගර සභාව භාරයේ තිබෙන සියලු ලේඛන මීළඟ නඩු දිනයට පෙර අල්ලස් කොමිසම බාරයට ගන්නා ලෙසත් මහේස්ත්‍රත්වරයා එම කොමිසමට කළ නියෝගයේ වැඩිදුරටත් සඳහන් වුණා.


