කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ පැවැත්වෙන දෙව්නි මෝරි ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ වන්දනා කිරීමට අපේක්‍ෂා කරන සැදැහැවතුන්ට අද රාත්‍රී 10 ට පෙර පෝලිම්වලට එක්වන්නැයි ඉල්ලීමක් කරනවා.

එම විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය කිරින්දේ අස්සජි හිමියන් පැවසුවේ එම සර්වඥ ධාතූන් වහන්සේ වන්දනාව හෙට (11) උදෑසන 6.00ට අවසන් කරන බවයි.

මෙරටට වැඩම කරවන ලද ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේ වන්දනා කිරීම සදහා සැදැහැවතුන්ට අවස්ථාව සලසා තිබුණේ පසුගිය 5 වනදා සිටයි.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී මහතා උපන් ගම් ප්‍රදේශය වන ගුජරාට් ප්‍රදේශයේ ඓතිහාසික දෙව්නිමෝරි භූමියේදී 60 දශකයේදී සිදු කරන ලද කැණීම්වලින් සොයා ගන්නා ලද බුදුරජාණන් වහන්සේගේ මෙම ශාරීරික ධාතුන් වහන්සේ මෙහිදී සැදැහැවතුන්ගේ වන්දනාමානය සදහා ප්‍රදර්ශණය කර තිබෙනවා.

මෙම ධාතූන් වහන්සේ මෙතෙක් ඉන්දියාවෙන් පිටතට වැඩම කර නොමැති වුවද ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ශ්‍රී ලංකා සංචාරයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමඟ පැවැත්වූ සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙස මෙම ශාරීරික ධාතුන් වහන්සේ වැඳ පුදා ගැනීමේ දුර්ලභ අවස්ථාව මෙරට ජනතාවට උදා වුණා.

මේ අතර දෙව්නි මෝරි ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ නැවත ඉන්දියාවට වැඩම කරවීම සඳහා ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ්හි ආණ්ඩුකාර මංගුබායි පටේල් සහ අරුණාචල් ප්‍රදේශ්හි නියෝජ්‍ය ප්‍රධාන අමාත්‍ය චවුනා මේන් මහත්වරුන් ඇතුළු ඉන්දීය දූත පිරිසක් දිවයිනට පැමිණ තිබෙනවා.

ඒ අනුව, එම දූත පිරිස විසින් දෙව්නි මෝරි ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ හෙට යළි ඉන්දියාවට වැඩම කරනු ලබනවා.