Update
තංගල්ල ප්‍රදේශයේ ප්‍රාථමික විද්‍යාලයක ශිෂ්‍ය නායක නිල ලාංඡන පැළඳවීමේ උත්සවයක් සදහා මුදල් එකතු කළ ආකාරය සම්බන්ධයෙන් පළ වන වාර්තා අසත්‍ය බව තංගල්ල ප්‍රාථමික විද්‍යාලය පවසනවා.
එම උත්සවය සඳහා සිය විද්‍යාලය මගින් මුදල් එකතු නොකල බවත් එහි සියලු වියදම් අදාළ දෙමව්පියන් විසින් දැරූ බවත් තංගල්ල ප්‍රාථමික විද්‍යාලයේ විදුහල්පති ඒ.ජේ. රෙජිත් පත්මලාල් මහතා පැවසුවා.
ඒ සම්බන්ධයෙන් එම විද්‍යාලයේ 2025 ශිෂ්‍ය නායක දෙමව්පිය සංසදයේ සාමාජික සම්පත් අතුකෝරළ මහතා ද අදහස් පළ කළා.
තංගල්ල ප්‍රදේශයේ ප්‍රාථමික විද්‍යාලයක ශිෂ්‍ය නායක නිල ලාංඡන පැළඳවීමේ උත්සවයක් සම්බන්ධයෙන් නෙත් නිවුස් වෙත ලද තොරතුරක් මත පසුගිය 26 වනදා උදෑසන 06.25 ප්‍රධාන ප්රවෘත්ති තුළින් අනාවරණ කළද එම ප්‍රවෘත්තියෙන් කිසිදු පාසලක නමක් සඳහන් කර නැහැ.
කෙසේවෙතත් එම ප්‍රවෘත්තිය ප්රචාරයවීමෙන් අනතුරුව තංගල්ල ප්‍රාථමික විද්‍යාලයේ පාලනාධිකාරිය හා දෙමව්පියන් පිරිසක් විසින් ඒ සම්බන්ධයෙන් නෙත් එෆ් එම් රේඩියෝව වෙත කරුණු වාර්තා කළා.
ඒ අනුව සිය අදහස් ප්‍රකාශ කිරීමට එම පාසල වෙත නෙත් නිවුස් විසින් මෙලෙස අවස්ථාව ලබා දෙනු ලැබුවා.
තංගල්ල ප්‍රදේශයේ ප්‍රාථමික විද්‍යාලයක ශිෂ්‍ය නායක නිල ලාංඡන පැළඳවීමේ උත්සවයක් සදහා රුපියල් ලක්ෂ 10කට අධික මුදලක් වියදම් කර ඇතැයි වාර්තා වනවා.
කිසිදු බාහිර වැඩ සඳහා මව්පියන්ගෙන් මුදල් අය කර නොගන්නා ලෙසට අධ්‍යාපන බලධාරීන් විසින් දැනුම් දී තිබියදී මෙම උත්සවය සඳහා එලෙස විශාල මුදලක් වියදම් කර ඇති ආකාරය සම්බන්ධයෙන් දකුණු පළාතේ අධ්‍යාපන බලධාරීන්ද මවිතයට පත්ව තිබෙනවා.
පාසලෙන් පිටත ස්ථානයක පසුගිය 16 වනදා පවත්වා ඇති එම උත්සවයට ළමුන් සහභාගි කර ගෙන ඇත්තේද තංගල්ල කලාප අධ්‍යාපන කාර්යාලයේ විධිමත් අවසරයකින් තොරව බවයි වාර්තා වුණේ.
අදාළ උත්සවය පැවති අවස්ථාවේ පාසලේ දරුවන් පිරිසක් එක් කර ගනිමින් නාට්‍යයක් ඉදිරිපත් කර ඇති අතර එම නාට්‍ය ඉදිරිපත් කර තිබුණේ ද දරුවන්ට ආදර්ශයක් ලබාදීමේ මාතෘකාවකින් බැහැරව බවයි වාර්තා වුණේ.




