හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ලිපියක් යොමුකර තිබෙනවා.

නීතියේ ආධිපත්‍යය තහවුරු කරමු යන සිරස්තලයෙන් යුක්තවයි එම ලිපිය යොමු කර ඇත්තේ.

හිටපු බුද්ධි ප්‍රධානී, පොලිස් අත්අඩංගුවේ පසුවන සුරේෂ් සලේ මහතාට සලකන ආකාරය සම්බන්ධයෙන් සමාජයේ මතුව ඇති කතිකාවත මත මෙම ලිපිය ජනපතිවරයා වෙත යොමුකර තිබෙනවා.

හිටපු බුද්ධි ප්‍රධානියා ද සාමාන්‍ය සැකකරුවෙකු සේ සලකා නීතියේ සමානාත්මතාවය, ඔහු වෙත ලබාදීම තහවුරු කිරීම කෙරෙහි ජනාධිපතිවරයාගේ කාරුණික අවධානය යොමුකරනු ඇතැයි ද එම ලිපියෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අපේක්‍ෂා කරනවා.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඩලස් අලහප්පෙරුම, නීතිඥ ඩිලාන් පෙරේරා, ඩී.බී. හේරත්, ආචාර්ය ගුණපාල රත්නසේකර, කරු කොඩිතුවක්කු, වෛද්‍ය තිලක් රාජපක්ෂ, වෛද්‍ය උපුල් ගලපත්ති, ලලිත් එල්ලාවල සහ කේ.පී.එස්. කුමාරසිරි යන මහත්වරු විසින් එම ලිපියට අත්සන් තබා තිබෙනවා.