රැඳවුම් නියෝග යටතේ කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන හිටපු බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ මහතා විවිධ වධ හිංසනයන්ට ලක්කර ඇති බවට ලැබුණු පැමිණිල්ල සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදුකරන බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පවසනවා.

එහි කොමසාරිස් නීතිඥ නිමල් ජී. පුංචිහේවා මහතා සඳහන් කළේ, ඒ සම්බන්ධයෙන් අද දිනයේත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගෙන් ප්‍රකාශ ලබාගැනීමට නියමිත බවයි.

සුරේෂ් සලේ මහතා විවිධ වධ හිංසනයන්ට ලක්කර ඇති බවට ඔහුගේ ඥාතීන් විසින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත පසුගියදා පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණා.

එම පැමිණිල්ල අනුව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව සුරේෂ් සලේ මහතා රඳවා සිටි සිරමැදිරිය පිළිබඳව විශේෂ පරීක්ෂාවක් සිදුකර තිබෙනවා.

ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සාමාන්‍ය සිරමැදිරියක රඳවා තබා සිට ඇති අතර එම සිරමැදිරිය තුළට නිසිපරිදි වාතාශ්‍රය නොලැබීම ඇතුළු පොදු මූලික අඩුපාඩු රැසක් නිරීක්ෂණය වී ඇති බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව සඳහන් කළා.

ඒ පිළිබදව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් වෙත දැනුවත් කිරීමටද මානව හිමිකම් කොමිෂන් සභාව පියවර ගෙන තිබෙනවා.

සුරේෂ් සලේ මහතා රඳවා තිබු සිරමැදිරිය ආසන්නයේ සිටි තවත් රැඳවූවන්ගෙන්ද ප්‍රකාශ සටහන් කර ගැනීමට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ නිළධාරීන් කටයුතු කර ඇති බවයි වාර්තා වන්නේ.

ඊට අමතරව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගෙන්ද ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා.

තවදුරටත් ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගෙන් ප්‍රකාශ ලබාගැනීමට නියමිත අතර මේ වනවිට රෝහල්ගත කර සිටින සුරේෂ් සලේ මහතාට ලැබෙන වෛද්‍ය පහසුකම් පිළිබඳවද අවධානය යොමුකර ඇති බවයි ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව සඳහන් කළේ.

මේ අතර දැනට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන සුරේෂ් සලේ මහතාට අවශ්‍ය සෞඛ්‍ය පහසුකම් උපරිමයෙන් ලබා දී ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා ඊයේ ප්‍රකාශ කළා.