රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී මේජර් ජෙනරල් සුරේෂ් සලේ මහතා හදිසි ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

එම රෝහලේ දැඩි සත්කාරක ඒකකයේ ඔහු ප්‍රතිකාර ලබන බවයි ඔහුගේ බිරිද පැවසුවේ.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් ඒ මහතා, මේ දක්වා පසුවුණේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රැඳවුම් භාරයේයි.

එහිදී තමාට අමානුෂික වදහිංසා සිදුකරන බවට පවසමින් ඒ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තුළම ආහාර වර්ජනය කරමින් උපවාසයක් ආරම්භ කර තිබුණා.

මේ අතර සුරේෂ් සලේ මහතා වෙනුවෙන් අඛණ්ඩ සත්‍යග්‍රහයක් ආරම්භ කිරීමට විපක්‍ෂයේ ඇතැම් කණ්ඩායම් තීරණය කර තිබෙනවා.

අද පෙරවරු 10 ට එම සත්‍යග්‍රහය කොළඹ කොටුවේදී ආරම්භ කරන බවයි හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසුවේ.

මේ අතර, තමන්ගේ මරණය ආසන්න බව හැඟෙන බැවින් දෑස් දන්දීමට හා සිය අවසන් කැමැති පත්‍රය සැකසීමට අවශ්‍ය ලිපිලේඛන රැගෙන කඩිනමින් එන්නැයි සුරේෂ් සලේ මහතා දැනුම්දුන් බව ඔහුගේ නීතිඥයින් පැවසුවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා වෙත ලිපියක් යොමුකරමින් සලේ මහතාගේ නීතිඥවරයා පවසන්නේ සිය අවසන් කැමති පත්‍රය සැකසීමට අවශ්‍ය ලිපිලේඛන සැකසීම සඳහා සිය නීතිඥයින්ට කඩිනමින් තමන් හමුවීමට පැමිණෙන ලෙස සලේ මහතා දැනුම් දී ඇති බවයි.

සුරේෂ් සලේ මහතා ඉකුත් පෙබරවාරි 25 වනදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ පාස්කු ප්‍රහාරය සම්බන්ධ චෝදනා එල්ල කරමින්.

අනතුරුව රැඳවුම් නියෝග මත සලේ මහතා එම දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන සිටියා.