රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානි සුරේෂ් සලේ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මහ මඟදී අත්අඩංගුවට ගැනීම තරයේ හෙලා දකින බව ජනාධිපති නීතිඥ අලි ශබ්රි මහතා අද අභියාචනාදීකරණය හමුවේ ප්‍රකාශ කළා

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් තමන්ව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා යුද හමුදා හිටපු බුද්ධි අංශ සාමාජිකයෙකු වන කර්නල් කැලුම් මන්දුමගේ විසින් ඉදිරිපත් කළ පෙත්සම අද සලකා බැලූ අවස්ථාවේදී පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා මේ බව පැවසුවා.

මෙම අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදී වැඩිදුරටත් කරුණු දැක්වූ ජනාධිපති නීතිඥ අලි ශබ්රි මහතා සුරේෂ් සලේ මෙරට ජාතික ආරක්ෂාව සුරක්ෂිත කිරීම සඳහා දැවැන්ත කාර්යභාරයක් ඉටුකර තිබෙන බවත් කොටි නායක තමිල් සෙල්වම් විනාශ කිරීම සඳහා ඔහු මුල්වී ක්‍රියා කළ බවත් ඔහු පෙන්වා දුන්නා.

කොටි නායකයෙකු වන කුමරන් පද්මනාදන් මැලේසියාවට ගොස් මෙරටට රැගෙන එනු ලැබුවේද සුරේෂ් සලේ විසින් බවත් ජාතික ආරක්ෂාව සමග ක්‍රීඩා කිරීම නුසුදුසු බවත් පැවසුවා.

2015 වසරේ සිදු වුණේත් මෙවැනි තත්වයේ ක්‍රියාවක් යැයි සදහන් කළ ජනාධිපති නීතිඥ අලි ශබ්රි මහතා අවසානයේ දී මුළු ජාතික ආරක්ෂාවම අනතුරේ වැටුණු බවත් ඔහු සඳහන් කළා.

වවුනතීවු ප්‍රදේශයේ පොලිස් නිලධාරීන් දෙදෙනෙකු මරා දැමීමේ සිද්ධියට අදාළ විමර්ශන නොමග යැවීමට කටයුතු කළේ යැයි චෝදනා කරමින් සිය සේවාදායකයාට එරෙහිව වර්තමානයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි සඳහන් කළ ජනාධිපති නීතිඥවරයා එවැනි විමර්ශනයක් සිදු කිරීමට කිසිදු සාක්ෂියක් නොමැති බවත් සඳහන් කළා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතාගේ මෙහෙයවීම යටතේ සිදු කරන මෙම විමර්ශනය හරහා සිය සේවාදායකයාට සාධාරණයක් අපේක්ෂා කළ නොහැකි බවත් ඔහු කියා සිටියා.

අසාද් මවුලානා නමැති දේශපාලන සරණාගත භාවය අපේක්ෂා කරන අයෙකු බ්‍රිතාන්‍ය රූපවාහිනී නාලිකාවකට කරන ලද ප්‍රකාශයක් පදනම් කරගෙන මෙම විමර්ශනය ආරම්භ කර තිබෙන බවත් මෙවැනි විමර්ශන හරහා වින්දිතයින්ට කිසිදා යුක්තිය ඉටු නොවන බවත් ඔහු සඳහන් කළා.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට ඉන්දීය බුද්ධි අංශ මෙන්ම මෙරට බුද්ධි අංශ කලින්ම අනතුරු අඟවා තිබියදී එය වළක්වා ගැනීමට පොලීසිය අවශ්‍ය පියවර නොගැනීම නිසා මෙම ඛේදවාචකය උද්ගත වූ බවත් ඔහු පෙන්වා දුන්නා.

අද දින ජනාධිපති නීතිඥ අලි ශබ්රි මහතාගේ කරුණු දැක්වීම අවසන් අවසන් කෙරුණු අතර වැඩිදුර කරුණු සලකා බැලීම මාර්තු මස 24 වනදා දක්වා කල් තැබීමට විනිසුරු මඩුල්ල නියෝග කළා.