Published
රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී විශ්‍රාමික යුද හමුදා මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ විශ්‍රාමික නිලධාරියෙකු වන ශාන්ත ජයතිලක මහතා විසින් පෙත්සම ඉදිරිපත් කළා.
එහි වග උත්තරකරුවන් ලෙස ආරක්ෂක අමාත්‍යවරයා, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා, මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා, පොලිස්පතිවරයා සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නම් කර තිබෙනවා.
පෙත්සංකරු කියා සිටින්නේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යොදා ගත හැක්කේ රටේ ඒකීයභාවය සහ භෞමික අඛණ්ඩතාවය බිඳ හෙළීමේ ක්‍රියාවල නිරත වන පාර්ශවයන්ට සහ නීත්‍යානුකූලව පත් වූ ආණ්ඩු පෙරළා දැමීමට ඍජුව හෝ වක්‍රව දායකත්වය දැක්වූ පුද්ගලයින්ට එරෙහිව පමණක් බවයි.
නමුත් සුරේෂ් සලේ මහතාට එවැනි වැරදි ක්‍රියා සම්බන්ධයෙන් චෝදනා එල්ල වී නොමැති බවත් පෙත්සම්කරු පෙන්වා දෙනවා.
රටේ භෞමික අඛන්ඩතාව බිඳ හෙලමින් නීත්‍යානුකූලව තේරී පත් වූ රජය පෙරළා දැමීමට ක්‍රියාකළ එල්.ටී.ටී.ඊ සංවිධානයේ ක්‍රියාකාරකම් වලට එරෙහිව එම පනත භාවිතා කිරීමට හැකියාව ඇති අතර 2022 වසරේ සිදුවූ අරගලයට එරෙහිව ද මෙම පනත භාවිතා කිරීමට හැකියාව තිබූ බව පෙත්සංකරු සඳහන් කරයි.
නමුත් පාස්කු ප්‍රහාරය තුළ එවැනි තත්ත්වයක් දක්නට නොලැබෙන බව පෙන්වා දෙන පෙත්සම්කරු එය හුදෙක් ආගමික දෘෂ්ටිවාදයක් පදනම් කරගෙන සිදුවී ඇති බවට කරුණු ඉදිරිපත් වී තිබෙන බවත් සඳහන් කළා.
එසේම සුරේෂ් සලේ මහතාට එරෙහිව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ එල්ල වී ඇති චෝදනා සහ සාක්ෂි කිසිවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ දක්වා අධිකරණයට ඉදිරිපත් කර නැති බවත් ඔහු කියා සිටියා.
මහජන සුභසාධන නඩුකරයක් සේ සලකා තමන් මෙම පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර ඇති බවත් මේ තුළින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබා දෙන ලෙසත් පෙත්සම්කරු අධිකරණයෙන් ඉල්ලා සිටියා.
එසේම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ සුරේෂ් සලේ මහතාට එරෙහිව ඉදිරිපත් වී තිබෙන චෝදනා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝගයක් නිකුත් කරන ලෙසත් ඔහුට එරෙහිව ප්‍රමාණවත් චෝදනා නොමැති නම් අධිකරණයට සුදුසු නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරු වැඩිදුරටත් අධිකරණයෙන් ඉල්ලා සිටියා.




