හිටපු ඇමති කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් අයථා ලෙස උපයා ගන්නා මුදල් විශුද්ධිකරණයට සහාය ලබා දුන්නේ යැයි අත්අඩංගුවට ගන්නා ලද මැණික් ව්‍යාපාරිකයෙකු ලබන 10 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.

අල්ලස් කොමිසම විසින් සෙනෙවිරත්න බණ්ඩාර රඹුක්වැල්ල නමැති මෙම සැකකරු අද පෙරවරුවේ අත්අඩංගුවට ගෙන තිබුණා.

ඉන් අනතුරුව එම සැකකරු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා හමුවට පමුණුවනු ලැබුවා.

අල්ලස් කොමිසම අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සැකකරු හිටපු අමාත්‍යවරයා සමග මුදල් විශුද්ධිකරණ කටයුතුවලට සම්බන්ධ වී ඇති බවට ප්‍රමාණවත් කරුණු අනාවරණය වී ඇතැයි සඳහන් කළා.

මෙම සිද්ධියට අදාළ විමර්ශන කටයුතු අවසන් වී නොමැති බවත් මේ අවස්ථාවේදී සැකකරුට ආපු ප්‍රදානය කළොත් විමර්ශන කටයුතුවලට බාධා සිදුවිය හැකි බවත් අල්ලස් කොමිසමේ නිලධාරින් අධිකරණයට දන්වා සිටියා.

ඒ අනුව සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් අල්ලස් කොමිසම අධිකරණයෙන් ඉල්ලා සිටියා.

සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ කාංචන රත්වත්තේ මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සැකකරු ඇප මත මුදා හරින්නැයි ඉල්ලීම් කළා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා අදාළ සැකකරු ලබන 10 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළා.