අත්අඩංගුවට ගත් හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතා ඇප මත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.

ඒ, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගත් හිටපු නාවික හමුදාපතිවරයා අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදීයි.

එහිදී අල්ලස් කොමිසමේ නිලධාරීන් හා සැකකරුගේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා නියෝග කළේ හිටපු නාවික හමුදාපතිවරයා ඇප මත මුදාහරින ලෙසයි.

2006 වසරේ ශ්‍රී ලංකා නාවික හමුදාවට විධායක ශිෂ්‍ය භටයෙකු ලෙස නියමිත සුදුසුකම් සපුරා නොතිබූ යෝෂිත රාජපක්ෂ නමැත්තා බඳවා ගැනීම සහ එතෙක් පැවැති පටිපාටියට පරිබාහිරව බ්‍රිතාන්‍යයේ රාජකීය නාවික හමුදා විද්‍යාලයේ පුහුණු පාඨමාලාවක් සඳහා රජයේ මුදල් ගෙවා යෝෂිත රාජපක්ෂ මහතා සහභාගි කරවීමට කටයුතු කරවීම තුළින් දූෂණය නැමැති වරද සිදුකළ බවට ඔහුට චෝදනා එල්ල වී තිබුණා.