දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු බල ශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබෙන නඩුවේ විභාගය ජූනි මස 17 වනදා පැවැත්වීමට කොළඹ මහාධිකරණය නියම කළා.
මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු රශාන්ත ගොඩවෙල මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා.
එහිදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරුවරයා නඩු විභාගයට අවශ්‍ය කරන සියලු ලේඛන සති දෙකක් තුළ විත්තිය වෙත ලබාදෙන ලෙස අල්ලස් කොමිසමට නියෝග කළා.
ඉන් අනතුරුව පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය අවසන් කළ විනිසුරුවරයා ජූනි මස 17 වනදා නඩු විභාගය ආරම්භ කරන බව නියෝග කළා.
එදින පැමිණිල්ලේ සාක්ෂිකරුවන් දෙදෙනෙකුට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා සිතාසි නිකුත් කරන ලෙසත් විනිසුරුවරයා විසින් නියම කරනු ලැබුවා.
2016 වසරේ ලංකා පොහොර සමාගමේ ප්‍රසම්පාදන සහ ආනයන අංශයේ කළමනාකරු ලෙස සේවය කරමින් ලංකා පොහොර සමාගමේ හුණුපිටිය ගබඩා සංකීර්ණයේ භූමිය මත කාපට් ඇතිරීම සඳහා සිදුකළ ප්‍රසම්පාදන ක්‍රියාවලියක දී පුද්ගලික සමාගමකට වාසියක් අත්වන ආකාරයෙන් කටයුතු කරමින් රජයට රුපියල් 8,859,708 ක පාඩුවක් සිදුකිරීම තුළින් ”දූෂණය” නමැති වරද සිදුකළ බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම මගින් හිටපු අමාත්‍යවරයාට එරෙහිව මෙම චෝදනා ඉදිරිපත් කර තිබෙනවා.
හිටපු බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතාද අද අධිකරණයේ පෙනී සිටි බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.




