හොංකොං සික්සර්ස් ක්‍රිකට් තරගාවලියේ පළඟ ශූරතාව සදහා අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකාව අද සමත් වුණා.

එහිදී ශ්‍රී ලංකාව තරග වැදිමට නියමිතව සිටින්නේ ඕමානය සමගයි.

හොංකොං සික්සර්ස් මෙවර තරගාවලිය සදහා රටවල් 12ක් තරග වදිනවා.

පළමු වටයේ තරග පැවැත්වුණේ කාණ්ඩ 4ක් යටතේයි.

ශ්‍රී ලංකාව එහිදී බී කාණ්ඩයෙන් තරග වැදුණු අතර එහි සෙසු සාමාජිකයන් වූයේ බංග්ලාදේශය සහ ස්කොට්ලන්තයයි.

බංග්ලාදේශය සමග තරගය විශිෂ්ට ලෙස ජයගත් ශ්‍රී ලංකාව අද පෙරවරුවේ ස්කොට්ලන්තය සමග පැවති තරගයේදී පරාජය වුණා.

එහිදී පළමුවෙන් පන්දුවට පහරදුන් ස්කොට්ලන්තය නියමිත පන්දුවාර හයේදී කඩුළු 4 ක් දැවි ලකුණු 144 ක් ලබාගත් අතර නියමිත පන්දුවාර හයේදී ශ්‍රී ලංකාවට ලබාගත හැකි වුයේ කඩුළු 3 ක් දැවි ලකුණු 118ක් පමණයි.

ඒ අනුව ස්කොට්ලන්තය බී කාන්ඩයේ පළමු වැනියා වුණා.

ඔවුන් කුසලානය සදහා අවසන් පූර්ව තරග සදහා සුදුසුකම් ලබාගත් අතර ශ්‍රී ලංකාව පළඟ ශූරතාව සදහා අවසන් පූර්ව තරග සදහා සුදුසුකම් ලබාගත්තේ ඒ අනුවයි.