මෙරට ළමා පිළිකා රෝග සදහා ප්‍රතිකාර කිරීමට වර්ෂ තුනකට සරිලන ගුණාත්මක, තත්ත්වයෙන් උසස් ඖෂධ සැපයුමක් සහතික කිරීමට හැකි වූ බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පවසනවා.
ඒ අනුව ශ්‍රී ලංකාවේ ළමා පිළිකා ඖෂධවල අඛණ්ඩ සැපයුම සහතික කිරීම සඳහා වන ගෝලීය වේදිකාවට නිල වශයෙන් සම්බන්ධ වීම සනිටුහන් කරමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සහ ලෝක සෞඛ්‍ය සංවිධානය අතර ගිවිසුමක් ද අත්සන් කෙරුණා.
මෙරට ළමා පිළිකා රෝගීන්ගේ ප්‍රතිකාර සේවාවන් තවදුරටත් විධිමත් හා ශක්තිමත් අයුරින් පවත්වාගෙන යාමට මෙරට සෞඛ්‍ය පද්ධතියට වර්ෂ තුනකට සරිලන ගුණාත්මක, තත්ත්වයෙන් උසස් ඖෂධ අඛණ්ඩව ලබා ගැනීම මෙහි අරමුණයි.
එමෙන්ම ඖෂධ සැපයුම් ක්‍රියාවලිය ශක්තිමත් කිරීම ඇතුලු සාධනීය කරුණු රැසක් එම ගිවිසුමට ඇතුළත්.
ළමා පිළිකා ඖෂධ සඳහා ප්‍රවේශය සඳහා වන ගෝලීය වේදිකාව 2021 වර්ෂයේ දී ලෝක සෞඛ්‍ය සංවිධානය සහ ශාන්ත ජූඩ් ළමා පර්යේෂණ රෝහල එක්ව ආරම්භ කර තිබෙනවා.
ඉදිරි වසර පහ සිට හත දක්වා කාලය තුළ අඩු සහ මධ්‍යම ආදායම් ලබන රටවල්වල ආසන්න වශයෙන් ළමුන් එක් ලක්ෂ 20,000කට ගුණාත්මක බව සහතික කළ උසස් පිළිකා ඖෂධ අඛණ්ඩව සැපයීම මෙම ගෝලීය වේදිකාවේ ප්‍රමුඛ අරමුණක්.
ශ්‍රී ලංකාව, ඉක්වදෝරය, එල් සැල්වදෝරය, ඝානාව, ජෝර්දානය, මෝල්ඩෝවා, මොංගෝලියාව, නේපාලය, පකිස්ථානය, සෙනගල්, උස්බෙකිස්තානය සහ සැම්බියාව යන රටවල් 12ක් මේවන විට මෙම ගෝලීය වේදිකාව සමඟ කටයුතු කරනු ලබනවා.




