අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මේ වන විට සමාජයේ කතාබහට ලක්වන ප්‍රධාන මාතෘකා කිහිපයක් සම්බන්ධයෙන්ද අදහස් පළ වුණා.

ඒ අතරින් එකක් වූයේ ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්මකුමාර මහතාගේ සිද්ධියයි.

මේ, ඒ සම්බන්ධයෙන් කළ ප්‍රශ්න කිරීමට කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ලබා දුන් පිළිතුරයි.

ස්ථිර විගණකාධිපතිවරයෙකු පත් කිරීම සම්බන්ධයෙන්ද මෙහිදී අදහස් පළ වුණා.

මේ අතර, දේශීය නිෂ්පාදන කර්මාන්ත ශක්තිමත් කිරීම හා ප්‍රවර්ධනය කිරීම සඳහා උපදේශක සභා පිහිටුවීම පිණිස කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධනයේ ප්‍රතිපත්තිමය ගැටලු අවම කිරීමේ අරමුණින් නිෂ්පාදන කර්මාන්ත ක්ෂේත්‍ර ආවරණය වන පරිදී උපදේශක සභා 20න් මේ වන විට පිහිටුවා ඇති බවයි මෙහිදී ප්‍රකාශ වුණේ.

එම උපදේශක කමිටු මගින් ආවරණය නොවන තවත් විශේෂිත කර්මාන්ත ක්ෂේත්‍ර 07ක් සඳහා උපදේශක කමිටු පිහිටුවීමේ අවශ්‍යතාව ද මේ වන විට හඳුනාගෙන තිබෙනවා.