ශ්රී ලංකා ක්රිකට් ආයතනය සංවිධානය කරන SLC T-20 ලීග් තුන්කොන් තරගාවලියේ අද පැවති තරඟයෙන් ලකුණු 72ක දැවැන්ත ජයක් අත්කර ගැනීමට කමිඳු මෙන්ඩිස් නායකත්වය දරන කොළ කණ්ඩායම සමත් වුණා. ඒ, දුනිත් වෙල්ලාලගේ නායකත්වය දරන නිල් කණ්ඩායම පරාජයට පත් කරමින්. මෙම තරඟයේ පළමුවෙන් පන්දුවට පහර දුන් කොළ කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 06ක් දැවී ලකුනු 158ක් රැස් කළා. නායක කමිඳු මෙන්ඩිස් පන්දු 39කදී ලකුණු 50ක් ලබාගත් අතර චාමික කරුණාරත්න පන්දු 30කදී නොදැවී ලකුණු 41ක් රැස් කළා. පන්දු යැවීමේදී අකිල ධනංජය සහ දිල්ෂාන් මධුසංක කඩුලු දෙක බැගින් දවා ගත්තා. ලකුණු 159ක ජයග්රාහී ඉලක්කයක් හඹා යෑමට පිටියට පැමිණි නිල් කණ්ඩායමට පන්දුවාර 15ක් අවසානයේ සියලුදෙනා දැවී ලබා ගැනීමට හැකි වුණේ ලකුණු 86ක් පමණයි. ධනංජනය ද සිල්වා පන්දු 20කදී ලකුණු 18ක් රැස් කළා. මෙම තරඟයේදී නිල් කණ්ඩායම නියෝජනය කළ කුසල් ජනිත් පෙරේරා ලකුණු 06ක් ලබා සිටීයදී ආබාධ තත්ත්වයක් හේතුවෙන් පිටියෙන් ඉවත් වුණා. ඒ අනුව කොළ කණ්ඩායමට මෙම තරඟයෙන් ලකුණු 72ක විශිෂ්ට ජයක් හිමි වුණා.
Published