ලෝක ජනාවාස දින ජාතික සැමරුම් උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවැත්වුණා.
ඒ, අරලියගහ මන්දිරයේදීයි. එක්සත් ජාතීන්ගේ ලෝක ජනාවාස දිනයට සමගාමීව “තමන්ගේම තැනක් - ලස්සන ජීවිතයක්” යන තේමාව යටතේ එහි ජාතික සැමරුම පැවැත්වුණු අතර ඒ හා සමගාමීව ඔක්තෝබර් 01 වනදා සිට අද දක්වා ජනාවාස සතියක්ද ප්‍රකාශයට පත්කරමින් විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කර තිබුණා.
නිවසක් ඉදිකර ගැනීමට මූල්‍ය හැකියාවක් නොමැති දිළිඳු පවුල් 4,000කට ආසන්න සංඛ්‍යාවක් සඳහා නිවාස ඉදිකර දීම වෙනුවෙන්, නිවාස සංවර්ධන අධිකාරිය විසින් ක්‍රියාත්මක කරනු ලැබ ඇති වැඩසටහන යටතේ දිවයින පුරා වැඩ නිම කළ නිවාස දහසක් ජනතා අයිතියට පවරා දීමද මෙහිදී විද්‍යුත් තාක්ෂණය ඔස්සේ ජනාධිපතිවරයා අතින් සිදු කෙරුණා.
යූ එන් හැබිටට් ශ්‍රී ලංකා කාර්යාලයේ මැදිහත්වීමෙන් ඉන්දියානු රජයේ සහ ක්ෘඍෂ ආධාර මත ක්‍රියාත්මක කිරීමට යෝජිත අඹතලේ ජල සැපයුම් ව්‍යාපෘතියේ සංකේතීය ප්රදානය ජනාධිපතිවරයා වෙත නිල වශයෙන් භාර දීමද මෙහිදී සිදු කර තිබෙනවා.
විවිධ හේතුන් මත නිවාස ඔප්පු ලබා දීම ප්‍රමාද වී තිබූ ප්‍රතිලාභීන් දහසකට ඔප්පු ලබාදීමේ වැඩසටහන යටතේ සංකේතාත්මකව ප්‍රතිලාභීන් 357 දෙනෙකුට නිවාස හිමිකම් ඔප්පු ප්රදානය, නිවසක් ඉදිකර ගැනීමට ආර්ථික හැකියාවක් නොමැති දිළිදු පවුල් දහසකට රුපියල් මිලියනය බැගින් මූල්‍ය ප්‍රදානයන් ලබාදීමේ වැඩසටහන යටතේ සංකේතාත්මකව 157 දෙනෙකුට චෙක්පත් ප්රදානය කිරීමද මෙහිදී සිදු වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.
ලෝක ජනාවාස දිනය නිමිත්තෙන් දීප ව්‍යාප්තව පැවැත්වුණු චිත්‍ර තරගයේ ජයග්‍රාහක, ජයග්රාහිකාවන්ට තිළිණ ප්රදානය සහ නාගරික සංවර්ධන අධිකාරිය විසින් ක්‍රියාත්මක කළ විවිධ වැඩසටහන්වල ජයග්‍රාහක, ජයග්‍රාහිකාවන් වෙත තිළිණ ප්රදානය කිරීමටද ජනාධිපතිවරයා එහිදී එක් වී තිබෙනවා.
මෙම උත්සව සභාව ඇමතූ නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍ය අනුර කරුණාතිලක මහතා සඳහන් කළේ රටේ ජනතාවගේ නිවාස සිහිනය සැබෑ කිරීම වෙනුවෙන් වත්මන් රජය පුළුල් වැඩපිළිවෙළක් සැලසුම් කර ක්‍රියාත්මක කරමින් සිටින බවයි.
එමෙන්ම නිවස පිළිබඳ සංකල්පය සමාජය තුළ කතිකාවට බඳුන් කරමින් නිවාස සැලසුම්කරණය පිළිබඳ විධිමත් වැඩපිළිවෙළක අවශ්‍යතාව රජය හඳුනාගෙන තිබෙන බවත් සියලු ජනතාවට ආරක්ෂිත, සුවපහසු සහ ගෞරවනීය ජීවන පරිසරයක් උදාකර දීම වෙනුවෙන් රජය කැපවී සිටින බවත් අමාත්‍යවරයා පැවසුවා.





