ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ සංවිධානාතා්මක අපරාධකරුවන් 05 දෙනාගේ විමර්ශන මේ වන විට ආරම්භ කර තිබෙනවා.

පොලීසිය පැවසුවේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ඔවුන් සම්බන්ධයෙන් පැය 72ක රැඳවුම් නියෝග මත ප්‍රශ්න කිරීම් සිදුකරන බවයි.

කෙහෙල්බද්දර පද්මේ, කමාන්ඩෝ සලින්ත, පානදුරේ නිලංග යන තිදෙනා ඉදිරි විමර්ශන සඳහා යොමු කර ඇත්තේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙතයි.

බැකෝ සමන් සහ තැඹිලි ලහිරු යන දෙදෙනා වැඩිදුර විමර්ශන සඳහා බස්නාහිර උතුර අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත යොමු කර තිබෙනවා.

පසුගිය කාලය පුරාවටම රට තුළ සිදුවූ ඝාතන සිද්ධීන්, මත්ද්‍රව්‍ය චෝදනා සහ කප්පම් ගැනීම් සම්බන්ධයෙන් ඔවුන්ට එරෙහිව දීර්ඝ විමර්ශන ක්‍රියාත්මක බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී එෆ් වුට්ලර් මහතා පැවසුවේ.

එමෙන්ම ඔවුන්ගේ වත්කම් බැරකම් සම්බන්ධයෙන්ද හැකි ඉක්මනින් විමර්ශනයක් කර පළමුව ඒ සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට නියමිත බවයි පොලීසියේ ජ්‍යේෂ්ඨ ප්‍රකාශකවරයෙකු සඳහන් කළේ.

විවිධ අපරාධ සිදු කිරීම සඳහා යොදා ගන්නා ලද ගිනි අවි සම්බන්ධයෙන්ද විමර්ශනයක් සිදු කර අදාළ ගිනි අවිද පොලිස් භාරයට ගැනීමට නියමිත බවයි වාර්තා වන්නේ.

දේශපාලකයින් අතර අදාළ පාතාල නායකයින් යම් සම්බන්ධයක් පවත්වා ඇත්නම් ඒ සම්බන්ධයෙන්ද කඩිනම් විමර්ශනයක් පැවැත්වීමට කටයුතු කරන බවයි නෙත් නිවුස් වෙත වාර්තා වුණේ.