ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ීඛක්‍ SLC T-20 ලීග් 2025 තරඟාවලියේ අද පැවැති තරඟයෙන් කඩුලු 06ක විශිස්ඨ ජය අත්කර ගැනීමට චරිත් අසලංක නායකත්වය දරන අළු කණ්ඩායම සමත් වුණා. ඒ, නිල් කණ්ඩායම පරාජය කරමින්. මෙම තරඟයේදී අද නිල් කණ්ඩායම මෙහෙයවනු ලැබුවේ පැතුම් නිස්සංක විසින්. එම කණ්ඩායමේ නිත්‍ය නායකයා ලෙස කටයුතු කළ දුනිත් වෙල්ලාලගේ අද තරඟයට ක්‍රීඩා කළේ නැහැ. ඒ අනුව පළමුව පන්දුවට පහරදුන් නිල් කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 06ක් දැවී ලකුණු 178ක් රැස් කිරීමට සමත් වුණා. රවිඳු ප්‍රනාන්දු පන්දු 24කදී ලකුණු 21ක් රැස් කළා. දසුන් ශානක පන්දු 19කදී නොදැවී ලකුණු 35යි. ගරුක සංකේත් ලකුණු 46කට කඩුලු 02ක් දවාගත්තා. ලකුණු 179ක ඉලක්කයක් හඹාගිය අළු කණ්ඩායම පන්දුවාර 17යි එක් පන්දුවකදී කඩුලු 04ක් දැවී එම ඉලක්කයට ළඟා වුණා. නුවනිදු ප්‍රනාන්දු පන්දු 34කදී නොදැවී ලකුණු 50ක් රැස් කළා. චරිත් අසලංක පන්දු 28කදී ලකුණු 45ක් රැස්කළ අතර දිනේශ් චන්දිමාල් පන්දු 25කදී ලකුණු 44ක් රැස්කළා. මතීෂ පතිරණ ලකුණු 32කට කඩුලු 02ක් දවාගත්තා. ඒ අනුව මෙම තරඟාවලියේ නිල් කණ්ඩායම සහභාගී වූ තරඟ හතරම පරාජයට පත් වූ අතර ඔවුන්ට අවසන් මහා තරඟයට පිවිසීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා. මෙම තරඟාවලියේ මූලික වටයේ අවසන් තරඟය කොළඹ SSC ක්‍රීඩාංගණයේදී හෙට පැවැත්වීමට නියමිතයි. එහිදී කොළ සහ අළු කණ්ඩායම් තරඟ කිරීමට නියමිතව තිබෙනවා.