හේන් ගොවිතැනේ නියැලී සිටින ජනතාවගේ ගැටලු වෙනුවෙන් පාර්ලිමේන්තුවේ අවධානය යොමු කරන බවත් මේ ගොවීන් ඉල්ලා සිටින්නේ සහනාධාර, මුදල් ආධාර නොව දශක ගණනාවක් පුරා වගා කළ බිමට අයිතිය බවත් බඩඉරිගු කොමඩු බණ්ඩක්කා ඇතුළු වගා කරන 5000ත් 6000ත් අතර පවුල් ප්‍රමාණයක් අක්කර 25000ක් තුළ දශක ගණනාවක් පුරා පාරම්පරික හේන් වගාව කරගෙන සිටින බවත් වගාවේ අයිතිය ඉල්ලා සිටින බවත් වගාවට ඇති ජීවනෝපායට ඇති ජීවත් වීමට ඇති අයිතිය මේ ගොවීන් ඉල්ලා සිටියත් අද එය උදුරාගෙන ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද මොනරාගල දිස්ත්‍රික්කයේ කොටියාගල ගොවි ජනතාවගේ ඉඩම් ගැටලු පිලිබඳ සාකච්ඡා කිරීම සදහා කොටියාගල 99 හංදිය ප්‍රදේශයේ පැවැති ජන හමුවක් අමතමිනි.
රජයේ මැතිඇමතිවරු ළඟට මේ ගැටලුව ගෙන යන විට විහිලුසහගත උත්තර දෙන බවත් මේ ගැටලු දිස්ත්‍රික් කමිටුව හරහා විසඳා ගන්නා ලෙස කැබිනට් ඇමතිවරු කියා සිටින බවත් මේ අයිතිය ලබා ගන්න සමගි ජන බලවේගය පෙනී සිටින බවත් මේ වෙනුවෙන් නැගිය හැකි ලොකුම හඬ ප්‍රජාතන්ත්‍රවාදීව නගන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
පරම්පරා ගණනාවක් පුරා වගා කටයුතු කර රජයට බරක් නොමැතිව සිටි මේ ජනතාව නිදහස් නිවහල් ජීවිතයක් ගත කළත් අද රජය විසදුම් ලබා නොදීම නිසා දුප්පතුන් බවට පත් කරන තැනට පත් කර ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.




