නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වලත් පොලොන්නරුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 01.00න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ.
මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය, හම්බන්තොට සහ මොනරාගල දිස්ත්‍රික්කවලත් විටින් විට පැයට කිලෝ මීටර් 40ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකි බවද අද උදෑසන නිකුත් කළ කාලගුණ අනාවැකියේ සඳහන්.
මේ අතර මහවැලි ගඟ ද්‍රෝණිය සඳහා නිකුත් කළ ගංවතුර අනතුරු ඇඟවීම අද පස්වරු 05.30 දක්වා දීර්ඝ කර ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව කින්නියා, මුතුර්, කන්තලේ, සේරුවිල, වැලිකන්ද, ලංකාපුර, තමන්කඩුව සහ දිඹුලාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් මහවැලි ගඟ ආශ්රිත පහත් ප්‍රදේශවල සිටින පිරිසට විශේෂයෙන්ම අවදානයෙන් සිටින ලෙසයි දැනුම්දී ඇත්තේ.
මේ අතර මහවැලි ගඟේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් පොලොන්නරුව, සෝමාවතිය රාජමහා විහාරස්ථානයේ ප්‍රදේශය මේ වන විට ජලයෙන් යටව පවතින බව නෙත් නිවුස් වාර්තාකරු පවසනවා.
පොලොන්නරුව සෝමාවතීය ප්‍රධාන මාර්ගයේ සුංගාවිල සිට සෝමාවතිය දක්වා වූ කොටසේ ජල ප්‍රමාණය තවත් ඉහළ ගොස් ඇති බවයි පොලීසිය පැවසුවේ.
එමෙන්ම මහවැලි ගඟ පොලොන්නරුව, මනම්පිටිය සහ ගල්ලෑල්ල අතර ප්‍රදේශයේදී ස්ථාන තුනකින් පිටාර ගලමින් ඇති බවද නෙත් නිවුස් වාර්තාකරු පැවසුවා.
ඒ හේතුවෙන් පොලොන්නරුව - මඩකලපුව ප්‍රධාන මාර්ගය ඊයේ රාත්‍රී කාලයේ සැහැල්ලු වාහන ගමනාගමනය සඳහා වසා දැමුණා.
කෙසේවෙතත් අද උදෑසන වන විට ජල මට්ටම ක්‍රමයෙන් අඩු වීම හේතුවෙන් සියලුම වාහන සඳහා එම මාර්ගය යළි විවෘත කළ බවයි පොලීසිය සඳහන් කළේ.




