අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් විවිධ විරෝධතා පැවතියද අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගෙන එන්නේ දරුවන්ගේ යහපත වෙනුවෙන් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. කෙසේවෙතත් පොදු පුරවැසියන් එකඟ නොවන නීති කිසිසේත්ම පාර්ලිමේන්තුවේ සම්මත නොවන බවයි ජනාධිපතිවරයා පැවසුවේ.
අධ්‍යාපනය සම්බන්ධයෙන් දෙමාපියන් මෙන්ම දරුවන්ද තබා ඇති විශ්වාසය ආරක්ෂා කිරීම සඳහා කටයුතු කරන බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ.
මේ අතර වර්තමානයේ මෙරට මුහුණ දී සිටින ජාතික ව්‍යසනයක් වන විෂ මත්ද්‍රව්‍ය උවදුර තුරන් කිරීම ඉලක්ක කර ගත් ජාතික වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම සඳහා “රටම එකට ජාතික මෙහෙයුම් සභාව” ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පළමු වරට රැස් වී තිබෙනවා.
විෂ මත්ද්‍රව්‍ය උවදුර මුලිනුපුටා දැමීම වෙනුවෙන් පසුගිය 13 වන දින, රටම එකට ජාතික මෙහෙයුම් වැඩපිළිවෙළ සඳහා ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකාව සම්මත වුණා. එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම සඳහා ජාතික මෙහෙයුම් සභාවක් පිහිටුවීමටයි යෝජනා කර තිබුණේ.
ඒ අනුව රැස් වූ ජාතික මෙහෙයුම් සභාව විසින් මත්ද්‍රව්‍ය ජාලය පිටුදැකීම, ඊට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය, මත්ද්‍රව්‍ය උවදුර තුරන් කිරිම සඳහා ජන සහභාගිත්වය ලබා ගැනීම, ජනතාව දැනුවත් කිරීම සඳහා බහුජන සංවිධාන සහභාගි කර ගැනීම සහ මාධ්‍ය මෙහෙයුමක් ක්‍රියාත්මක කිරීම කෙරෙහි ප්‍රධාන වශයෙන් සාකච්ඡාවට ලක් කර තිබෙනවා.
මෙම මෙහෙයුම් සභාව ස්ථාපිත කිරිමේ මූලික පරමාර්ථය පැහැදිලි කළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, අද වන විට මත්ද්‍රව්‍ය උවදුර නිසා තරුණ ප්‍රජාවගේ මෙන්ම පාසල් දරුවන්ගේ ජීවිත අවදානමට ලක්ව ඇති ආකාරයත්, එය සමාජ ආර්ථික ව්‍යසනයක් බවට පත්ව ඇති ආකාරයත් සම්බන්ධයෙන් අවධානය යොමු කර තිබුණා.
මත්ද්‍රව්‍ය උවදුර පිටුදැකීම සඳහා මහජනතාවගේද සහාය ලබා ගැනීමේ වැදගත්කමත්, රටම ඒකරාශි කර ගත් මෙවැනි පුළුල් වැඩපිළිවෙළක් ඇරඹීමේ වැදගත්කමත් මෙම අවස්ථාවට සහභාගී වූ ආගමික නායකයින්ගේ ඇගයීමට ලක් වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.